පලාලි ජාත්‍යන්තර ගුවන්තොටුපොළ ඉදිකිරීම මේ වසරේ

පලාලි ගුවන්තොටුපළ ජාත්‍යන්තර මට්ටමට නවීකරණය කිරීමේ කටයුතු ‍මේ වසරේ අග භාගයේ දී ඇරඹීමට රජය තීරණය කර ඇත.

ඒ 320 හා ඒ 321 ප්‍රමාණයේ ගුවන් යානා ගොඩබැස්ස වීමට හැකිවන අයුරින් මීටර් 3500 ක ධාවන පථයක් ඉදිකිරීමට නියමිත අතර නවීකරණ කටයුතු සඳහා රුපියල් බිලියන 30 ක මුදලක් වැය වෙතැයි ඇස්තමේන්තු කර ඇත. අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ යාපනය සංචාරයේදී ගුවන්තොටුපළ නවීකරණය කරලීම පිළිබඳ විශේෂ සාකච්ඡාවක් පලාලි හි දී පැවැත්වුණු අතර, අමාත්‍යවරු, යාපනය දිස්ත්‍රික්කයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු, සිවිල් ගුවන් සේවා අධිකාරියේ හා ගුවන් හමුදා නිලධාරීහු ද මේ සාකච්ඡාවට එක්වූහ.

මෙම නවීකරණයත් සමඟ පලාලි සිට කිලෝ මීටර 7200 ක වට ප්‍රමාණයක් තුළ ඇති ගමනාන්ත වෙත සෘජු ගුවන් සේවා සැපයීමට අවකාශ සැලසේ. ඉන්දියාව, ඕස්ට්‍රේලියාව, චීනය, ජපානය, මැදපෙරදිග හා යුරෝපීය රටවල් ගණනාවක් කරා සෘජු ගුවන් සේවා සැපයිය හැකිය. මේ මඟින් උතුරු පළාතේ ජනතාවට පහසුකම් රාශියක් සැලසෙන අතර සංචාරක කර්මාන්තයේ දැවැන්ත වර්ධනයක් ද සිදුවන බව ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය අර්ජුන රණතුංග මහතා පැවැසීය.

සංවර්ධන ක්‍රියාවලියේ මුල් අදියරේදී ධාවන පථය සැකසීමට මූලිකත්වය ලබාදෙන ලෙස අග්‍රමාත්‍ය රනිල් වික්‍ර‍සිංහ මහතා උපදෙස් ලබා දී තිබේ. පිටවීමේ සහ පැමිණීමේ පර්යන්ත ගොඩනැගිලි සඳහා තාවකාලික ගොඩනැගිලි යොදා ගත හැකි බව පැවසූ වික්‍රමසිංහ මහතා ලෝකයේ බොහෝ රටවල් මේ අයුරින් තාවකාලික ගොඩනැගිලි භාවිත කරන බව ද පෙන්වා දුන්නේ ය. මගී සහ ප්‍රවාහන සේවාවන් පුළුල් වීමේදී දෙවන අදියර යටතේ ස්ථිර ගොඩනැගිලි ඉදිකිරීම සුදුසු බව පෙන්වා දී ඇත.

ගුවන්තොටුපොළට අවශ්‍ය ජල සහ විදුලිබල පහසුකම් හා ප්‍රවේශ මාර්ග ඉදිකිරීම මෙන්ම ගුවන් යානා ඉන්ධන ගබඩා කිරීම පිළිබඳ වද මෙම සාකච්ඡාවේදී අවධානය යොමු කෙරිණි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *