කෝටි 700 දියමන්තිය සොරාගත් මධුෂ්ගේ ගෝලයා මාට්ටු

(කොළඹ, ලංකාපුවත්) –මහරගම, ඇරව්වල ප්‍රදේශයේ පිහිටි මැණික් ව්‍යාපාරකයකු සතුව තිබු රුපියල් කෝටි 700 ක් පමණ වටිනා දියමන්තියක් හා මැණික් තොගයක් කොල්ල කෑ පතාල නායක මාකඳුරේ මධූෂ්ගේ ගෝලයකු කිරිබත්ගොඩ ප්‍රදේශයේ දී ඊයේ (19) මිරිහාන අපරාධ මෙහෙයුම් ඒකකය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

මේ සැකකරු වයස අවුරුදු 31ක් පමණ වන වෙඩිකන්ද පාර, හුනුපිටිය, වත්තල ලිපිනයේ පදිංචි හිරයාදුරගේ කසුන් ධනංජය නැමැත්තා බවට හදුනාගෙන තිබෙන බවද මාකඳුරේ මධූෂ් නැමැති අපරාධකරු විසින් ඩුබායි හි සිට මෙම කොල්ලකෑමේ සිද්ධිය මෙහෙයවා තිබෙන බවට විමර්ශනවල දී අනාවරණය වන බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා ප්‍රකාශ කරයි.

මහරගම පොලිස් වසමට අයත් ඇරැව්වල, පන්නිපිටිය ප්‍රදේශයේ දී පසුගිය නොවැම්බර් 5 දා නිවෙසෙක දී දියමන්තියක් සහ මැණික් ගල් කිහිපයක් කොල්ලකෑමේ සිද්ධියක් සිදුව තිබෙන අතර මේවා මිලදී ගැනීම සඳහා පිරිසක් අදාළ නිවෙසට පැමිණ එහි අයිතිකරු සමඟ පරීක්ෂා කරමින් සිටිය දී එම ස්ථානයට තවත් පිරිසක් පැමිණ තිබෙන බවද එම පිරිස අතරින් එක් අයෙකු පොලිස් පරීක්ෂකවරයෙකුගේ නිල ඇඳුමින් සැරසී සිට ඇත.

මෙලෙස පැමිණි පිරිස රිවෝල්වරයක් පෙන්වා දියමන්තිය සහ මැණික් ගල් අයිතිකරුගේ හිසට පහර දී අදාළ දියමන්තිය සහ මැණික් ගල් රැගෙන කොල්ලකරුවන් පලාගොස් තිබෙන බව පවසන රුවන් ගුණසේකර මහතා කොල්ලකන ලද මෙම දියමන්තිය කැරැට් 720 ක ප්‍රමාණයකින් යුක්ත බවටත් කොල්ල කන ලද දියමන්තියේ සහ මැණික් ගල්වල වටිනාකම රුපියල් කෝටි 700ක් බවටත් දන්වමින් හිමිකරු විසින් මහරගම පොලීසිය වෙත පැමිණිලි කර තිබෙන බවද කියාසිටී.

එම පැමිණිල්ල ලැබුණු විගස මිරිහාන අපරාධ මෙහෙයුම් ඒකකය විසින් විමර්ශන ආරම්භ කරන ලද අතර එදින මෙම මැණික් ගල් මිලදී ගැනීමට බව පවසා පැමිණි පිරිස ව්‍යාජ පිරිසක් බවටත් ඔවුන් ද මේ කොල්ලකෑමේ සිද්ධියට සම්බන්ධ බවටත් අනාවරණය කරගත් බවද මෙම විමර්ශන අතරතුර මේ සිද්ධියට සම්බන්ධ සැකකරුවෙක් ඊයේ මිරිහාන අපරාධ මෙහෙයුම් ඒකකයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් අත්අඩංගුවට ගත් බවද මොහුව කිරිබත්ගොඩ ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගත් බවද සදහන් කරයි.

මේ සැකකරු වයස අවුරුදු 31ක් පමණ වන වෙඩිකන්ද පාර, හුනුපිටිය, වත්තල ලිපිනයේ පදිංචි හිරයාදුරගේ කසුන් ධනංජය නැමැත්තා බවට හදුනාගෙන තිබෙන බවද දියමන්තිය සහ මැණික් ගල් කොල්ලකෑමේ සිද්ධිය සම්බන්ධයෙන් මීට පෙර ද සැකකරුවන් දෙදෙනෙකු මිරිහාන අපරාධ මෙහෙයුම් ඒකකය විසින් අත්අඩංගුවට ගෙන තිබෙන බවද සදහන් කරන පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා මාකඳුරේ මධූෂ් නැමැති අපරාධකරු විසින් ඩුබායි හි සිට මෙම සිද්ධිය මෙහෙයවා තිබෙන බවට විමර්ශනවල දී අනාවරණය වන බවද කියාසිටී.

මේ සිද්ධිය සම්බන්ධයෙන් නොවැම්බර් මස 17 දා එක් සැකකරුවෙක් මුලින්ම පාදුක්ක ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන තිබෙන අතර එම සැකකරු ඔරුවල, අතුරුගිරිය ලිපිනයේ පදිංචි වයස අවුරුදු 57ක් වූ රවීන්ද්‍ර නාලක රණසිංහ නොහොත් ලොකු අයියා නැමැත්තා බවද එම පුද්ගලයා අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව ඔහුගේ ජංගම දුරකතනය පොලිස් නිලධාරීන් භාරයට ගෙන වැඩිදුරටත් පරීක්ෂා කර තිබෙන බවද පවසන ඒ මහතා මේ දියමන්තියේ හා මැණික් ගල්වල වීඩියෝ දර්ශන හා ඡායාරූප තිබී ඇති අතර එම ඡායාරූප ඉමෝ තාක්ෂණය හරහා මාකඳුරේ මධූෂ් නැමැත්තාට යවා තිබෙන බවට තහවුරු වන බවද ප්‍රකාශ කරයි.

මාකඳුරේ මධූෂ් සමඟ කතාකර තිබෙන හඩපට එම දුරකතනය තුළ පටිගත වී තිබෙන බවද අධිකරණ නියෝගයකට අනුව එම දුරකතනය රජයේ රස පරීක්ෂක වෙත යොමුකර තිබෙන බවද පවසන පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා මේ සැකකරු නුගේගොඩ මහේස්ත්‍රාත් අධිකරණ වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව හදුනා ගැනීමේ පෙරට්ටුවකට යොමුකළ බවද පෙන්වාදෙයි. එහිදී සැකකරු හදුනා ගැනීමට කටයුතු කළ අතර මෙම කොල්ලකෑම සඳහා පොලිස් පරීක්ෂකවරයෙක් ලෙස ව්‍යාජ ලෙස පෙනී සිට ඇත්තේ ද මෙම සැකකරු බවට මේ වනවිට අනාවරණය කරගෙන ඇත.

අත්අඩංගුවට පත්ව තිබෙන දෙවැනි සැකකරු රොටුඹ, මාතර ලිපිනයේ පදිංචි ජයසිංහලාගේ තුසිත මධුරංග නොහොත් මාතර මල්ලී නැමැති 39 හැවිරිදි පුද්ගලයෙක් වන අතර ඔහු මොරටුව ප්‍රදේශයේ දී පසුගිය දෙසැම්බර් මස පළමුවැනිදා අත්අඩංගුවට ගෙන තිබෙන බවද මේ පුද්ගලයා ද නුගේගොඩ මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රක්ෂිත බන්ධනාගාර ගතකර තිබෙන බවද හෙතෙම සදහන් කරයි.

ඒ අනුව ඊයේ (19) දිනයේ අත්අඩංගුවට ගෙන ඇත්තේ මෙම සිද්ධිය සම්බන්ධයෙන් වන තෙවැනි සැකකරු වන බවද මේ පිළිබඳව තවදුරටත් විමර්ශන සිදුවන බවද සදහන් කරන ඒ මහතා ඊයේ අත්අඩංගුවට ගත් සැකකරු නුගේගොඩ මහේස්ත්‍රාත් අධිකරණ වෙත ඉදිරිපත් කිරීමට නියමිත බවද කියාසිටී. මේ සිද්ධිය සම්බන්ධයෙන් මහරගම පොලීසිය සහ මිරිහාන අපරාධ මෙහෙයුම් ඒකකය විසින් විමර්ශන සිදුකරන බවද පවසයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *