ඩොලර් මි. 2000ක මුදල් යෝජනාවට කැබිනට් අනුමැතිය

(කොළඹ, ලංකාපුවත්) –දැනට කරගෙන යනු ලබන සහ අලුතින් ආරම්භ කිරීමට යෝජිත සංවර්ධන ව්‍යාපෘති සඳහා අවශ්‍ය ඇමරිකානු එක්සත් ජනපද ඩොලර් මිලියන 2000ක මුදලක් ජාත්‍යන්තර ස්වෛරීත්ව බැඳුම්කර හරහා ලබා ගැනීමට මුදල් හා ජනමාධ්‍ය ඇමති මංගල සමරවීර මහතා කළ යෝජනාවට ඇමැති මණ්ඩලයේ අනුමැතිය හිමි වී තිබේ.

ආණ්ඩුව රට පුරා මං මාවත්, පානීය ජලය, සෞඛ්‍ය අධ්‍යාපන , නිවාස ඇතුළු යටිතල පහසුකම් හා මහජන උපයෝගීතා පහසුකම් නංවාලන සංවර්ධන ව්‍යාපෘති මේ මුදල් යොදා සිදු කිරීමට පියවර ගන්නා බව මංගල සමරවීර මහතා ප්‍රකාශ කෙළේය.

ඇමෙරිකානු ඩොලර් මිලියන 2000ක මුදල ලබා ගැනීම සඳහා එච්.එස්. බී.සී. ආයතනය ඇතුළු නියමු කළමනාකරුවන් ලෙස ආයතන 07ක් නම් කොට ඇත.

ශ්‍රී ලංකා රජය වෙනුවෙන් ශ්‍රී ලංකා මහ බැංකුව මේ ජාත්‍යන්තර ස්වෛරීත්ව බැඳුම්කර නිකුතුව සිදු කරනු ඇත.

ශ්‍රී ලංකාව ලබා ගත් ණය වාරික හා පොලී මුදල් ලෙස මේ වසරේදී ඇමෙරිකානු එක්සත් ජනපද ඩොලර් මිලියන 5900ක අතිවිශාල මුදලක් ගෙවීමට ආණ්ඩුවට සිදුවී ඇත. මෙය වසරකදී ආණ්ඩුව ගෙවිය යුතු විශාලතම ණය සේවාකරණ මුදල වේ.

මේ අන්දමේ අතිවිශාල ණය කන්දක් ගෙවා දමමින්, රටේ සංවර්ධන ව්‍යාපෘතීන්ද අතරමඟ නතර නොකොට ක්‍රියාත්මක කිරීමේ දැවැන්ත අභියෝගය ආණ්ඩුව ජය ගන්නා බවද මංගල සමරවීර මහතා කීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *