ජනපතිගෙන් තායිලන්ත නව රජුට ශ්‍රී මහා බෝධි අංකුරයක්

(කොළඹ, ලංකාපුවත්) –තායිලන්තයේ 10 වන රජු ලෙස ලබන මැයි මාසයේ දී අභිෂේක ලබන මහා වජිරලංකෝන් රජතුමා වෙත ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ සුභාශිංසන සමග උතුම් ජය ශ්‍රී මහා බෝධින් වහන්සේගේ බෝධි අංකුරයක් තිළිණ කෙරේ.

ජනාධිපතිතුමා වෙනුවෙන් එම බෝධින් වහන්සේ රැගෙන තායිලන්තය බලා පිටත්ව ගිය බුද්ධශාසන හා වයඹ සංවර්ධන අමාත්‍ය ගාමිණි ජයවික්‍රම පෙරේරා මහතා විසින් ජනාධිපතිතුමාගේ සුභාශිංසන සමග බෝධි අංකුරය ඊයේ (19) තායිලන්ත රජු වෙත පිළිගන්වනු ලැබීය.

තායිලන්තය සහ ශ්‍රී ලංකාව අතර පවතින රාජ්‍යතාන්ත්‍රික සබදතා තවදුරටත් ශක්තිමත් කරමින් ථෙරවාදි බුදු දහම සුරක්ෂිත කිරීම අරබයා ශ්‍රී ලංකා රජය ගනු ලැබු සුවිශේෂ පියවරක් ලෙස මෙම අවස්ථාව සනිටුහන් කෙරෙන අතර මෙහි විශේෂත්වය වනුයේ අභිසෙස් ලබන තායිලන්ත රජතුමා වෙත ලැබුණු පළමු රාජ්‍යතාන්ත්‍රික තිළිණය ද මෙය වීමයි.

අනතුරුව එම බෝධි අංකුරය තායිලන්තයේ අයෝධ්‍යා නුවර වජිරධම්මාරම විහාරස්ථානයේ රෝපණය කිරීම තායිලන්ත අග්‍රාමාත්‍ය ප්‍රයුත් චාන්-ඕ-චා මැතිතුමා සහ අමාත්‍ය ගාමිණි ජයවික්‍රම පෙරේරා මහතා ඇතුළු එරට විශේෂ නියෝජිත පිරිසකගේ සහභාගිත්වයෙන් සිදු කෙරිණි.

ශ්‍රී ලංකා ජනාධිපතිතුමා විසින් තම හෘදයාංගම සුභාශිංසන සමග පිළිගන්වන ලද මෙම උතුම් තිළිණය දෙරට අතර විශ්වාසනීය මිත්‍රත්වයේ සහ සහෝදරත්වයේ නව සළකුණක් බව තායිලන්ත අග්‍රාමාත්‍යවරයා සදහන් කළේය.

අටමස්ථානාධිපති පූජ්‍ය පල්ලේගම සිරිනිවාස නායක හිමිපාණන් වහන්සේ සහ තායිලන්ත ප්‍රධාන සංඝනායක හිමිවරුන් ඇතළු ගිහි පැවිදි විශාල පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *