ධීවර අමාත්‍යංශයෙන් තීරණයක්

(කොළඹ, ලංකාපුවත්) – ධිවර කටයුතු සදහා යාත්‍රා පැදවීමේ බලපත්‍ර ලබාගෙන එමගින් නීති විරෝධී කටයුතුවල නිරත වන සියලු ධිවර යාත්‍රා නියමුවන්ට සිය ජිවිත කාලය තුල නැවත යාත්‍රා පැදවිය නොහැකි ලෙස බලපත්‍ර අත් හිටුවීමට ධීවර අමාත්‍යංශය තීරණය කර ඇත.

මෙම තහනම ක්‍රියාත්මක කිරීම සදහා අවශ්‍ය නීති සහ රෙගුලාසි කඩිනමින් පැනවීමට අවශ්‍ය කටයුතු සම්පාදනය කරන ලෙස ධිවර හා ජලජ සම්පත් සංවර්ධන රාජ්‍ය අමාත්‍ය දිලිප් වෙදආරච්චි මහතා ධිවර දෙපාර්තමේන්තුවේ අධ්‍යක්‍ෂක ජනරාල්වරයාට උපදෙස් ලබා දී තිබේ.

මෙවැනි ජාවාරම් කරුවන් හදුනාගැනීම සහ එවැනි නීති විරෝධී කටයුතු වැලක්වීමට ක්ෂණිකව මැදිහත්වීම සදහා අවශ්‍ය තොරතුරු ලබාගැනීමට ‘ ඇප් ‘එකක් හදුන්වා දීමටද අපේක්ෂිත බව රාජ්‍ය ඇමැතිවරයා පවසයි.

අද(20)බහුදින ධිවර යාත්‍රා හිමිකරුවන් සමග පැවති සාකච්ජාවකදී ධිවර හා ජලජ සම්පත් සංවර්ධන රාජ්‍ය ඇමැතිවරයා මෙම උපදෙස් ලබා දෙන ලදි.

මේ සදහා රාජ්‍ය අමාත්‍යංශයේ ලේකම් ඩබ්ලිව් . සන්දනායක මහත්මිය , ධිවර දෙපාර්තමේන්තුවේ අධ්‍යක්‍ෂක ජෙනරාල් ප්‍රසන්න ගීගනගේ මහතා ඇතුළු එම දෙපාර්තමේන්තුවේ ජේෂ්ඨ නිලධාරීන් , බහුදින ධීවර යාත්‍රා හිමියන්ගේ සංගමය සහ බහුදින ධිවර යාත්‍රා හිමිකරුවන් ඇතුළු පිරිසක් එක්ව සිටියහ .

මෙහිදී බහුදින ධිවර යාත්‍රා හිමිකරුවන් පෙන්වා දුන්නේ යාත්‍රා නියමුවන් විසින් සිය යාත්‍රා නීති විරෝධී කටයුතු සදහා යෙදවීමෙන් ධීවර කර්මාන්තයේ නිරත වීමද බරපතල ගැටලු මතුකරන තත්වයක් නිර්මාණය කර ඇති බවය . නියමුවා කරන වැරදි සදහා යාත්‍රා හිමිකරුට දඩුවම් පැනවීම ඉතාම අසාධාරණ බවත් වැරදි කරන අයට දඩුවම් පැනවීමේ ක්‍රමවේදයක් සකසන ලෙසත් ඔවුහු රාජ්‍ය ඇමැතිවරයා ප්‍රමුඛ අමාත්‍යංශ නිළධාරින්ගෙන් ඉල්ලා සිටියහ .

මෙහිදී රාජ්‍ය අමාත්‍ය දිලිප් වෙදආරච්චි මහතා පැවසුවේ වැරදි කරන අය නිදහස් කර නිවැරදි අයට දඩුවම් කිරීමේ ක්‍රමවේදයක් ක්‍රියාත්මක වන්නේනම් එය කිසිසේත් පිළිගත නොහැකි බැවින් වැරදි කරන අයට උපරිම දඩුවම් පැනවීම සදහා ගතහැකි සියලු පියවර ගෙන අවශ්‍ය නම් නව නීති හෝ හදුන්වාදීමට කටයුතු කරණ බවය .

මෙලෙස දැඩි දඩුවම් පැනවීමකින් තොරව ධීවර ජනතාව බිල්ලට තබා සුළු පිරිසක් කරන ජාවාරම් පාලනය කල නොහැකි බවත් ධිවර කර්මාන්තයත් ධිවරයත් රැකගැනීම සදහා බහුදින ධිවර යාත්‍රා හිමිකරුවන්ගේ ඉල්ලීම මත මෙවැනි දැඩි තීන්දු තීරණ ගැනීම අත්‍යවශ්‍ය බවත් රාජ්‍ය අමාත්‍ය දිලිප් වෙදආරච්චි මහතා අවධාරණය කළේය .

Leave a Reply

Your email address will not be published. Required fields are marked *