බංග්ලාදේශ ගුවන් යානයක් පැහැරගැනිමේ උත්සාහයක් අසාර්ථකයි

(කොළඹ, ලංකාපුවත්) – බංග්ලාදේශයේ ඩකා අගනුවර සිට ඩුබායි දක්වා පියාසර කරමින් තිබූ මගී ප්‍රවාහන ගුවන් යානයක් පැහැරගැනිමට උත්සාහ දැරූ පුද්ගලයකු බංග්ලාදේශ ආරක්ෂක අංශ ප්‍රහාරයකින් ජීවිතක්ෂයට පත් විය

විදෙස් වාර්තාවන්හි සඳහන් වන්නේ බංග්ලාදේශයේ විශේෂ කාර්යය බලකාය විසින් එල්ල කළ ප‍්‍රහාරයක් හමුවේ සැකකරු ජීවිතක්ෂයට පත්වූ බවයි. මෙලෙස මියගොස් ඇත්තේ යානයේ ගමන්ගත් 25 හැවිරිදි පුද්ගලයෙකි. ඔහුගේ අනන්‍යතාව බලධාරීන් මෙතෙක් තහවුරු කර නොමැත.

අදාළ සැකකරු ගුවන් යානය පැහැර ගැනීමට උත්සහ කළ හේතුව මෙතෙක් අනාවරණ වී නොමැත.

බංග්ලාදේශයේ ඩකා අගනුවර සිට එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ඩුබායි දක්වා පියාසර කරමින් තිබූ ගුවන් යානයක් පැහැර ගැනීමටයි සැකකරු ඊයේ (24) උත්සහ දරා තිබේ. ඔහු නියමු කුටියට ඇතුළුවීමට උත්සහ දැරීමේදී යානය බංග්ලාදේශයේ චිතගොන් ගුවන් තොටුපළක් වෙත ආරක්ෂිතව ගොඩ බැස්වීමට නියමුවා සමත් වී තිබුණි.

ගොඩබෑ ගුවන් යානයට පිවිසි විශේෂ කාර්යය බලකා නිලධාරීන් සැකකරු යටත් කර ගැනීමට උත්සහ කළ ද ඔහු තමන් සතුව පිස්තෝලයක් ඇති බව පවසමින් පිරිස බිය වද්දා ඇතැයි වාර්තා වේ.

එහිදී ආරක්ෂක අංශ එල්ල කළ වෙඩි ප‍්‍රහාර හමුවේ තුවාල ලැබූ සැකකරු පසුව මියගොස් ඇතැයි සඳහන්වේ.

මෙම සිද්ධිය වාර්තා වන විට එම ගුවන් යානය තුළ පුද්ගලයින් 148 දෙනෙකු සිටි බව සදහන් වේ. ඔවුන් සියලූ දෙනා නිරුපද්‍රිත බව බලධාරීන් පවසා ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *