රටවල් 10ක සංචාරකයින්ට නිදහස් වීසා

(කොළඹ, ලංකාපුවත්) – ග්‍රී ලංකාවට පැමිණෙන තායිලන්තය, යුරෝපා සංගමයේ රටවල් ඇතුළු රටවල් 10ක සංචාරකයින්ට 2019 අප්‍රේල් 1 දා සිට 6 මාසයක කාලයක් සඳහා ගාස්තු අය කිරීමකින් තොරව නිදහස් වීසා ලබාදීමට අමාත්‍ය මණ්ඩලය තීරණය කොට ඇත.

මේ අනුව තායිලන්තය යුරෝපා සංගමයේ රටවල්, එක්සක් රාජධානිය, ඕස්ට්‍රේලියාව, දකුණු කොරියාව, කැනඩාව, ඇමරිකා එක්සත් ජනපදය, සිංගප්පූරුව, මැලේසියාව හා නවසීලන්තය යන රටවල සංචාරකයින්ට මෙම නිදහස් වීසා ලබා ගැනීමේ අවස්ථාව හිමිවේ.

වසරේ අනෙකුත් කාලයට සාපේක්ෂව අප්‍රේල් සිට ඔක්තෝම්බර් දක්වා කාල පරාසය තුළ සංචාරකයින්ගේ පැමිණීම අඩු අගයක් ගන්නා බව නිරීක්ෂණය වී ඇත.

එ‍සේ වුවද මැයි සිට අගෝස්තු දක්වා වන කාල සීමාව තුළ වෙසක් හා පොසොන් උත්සව හා ඇසළ පෙරහැර වැනි බෞද්ධාගමික උත්සව සහ සංස්කෘතික අංග රාශියක් දිවයින පුරා පැවැත්වෙන බැවින් බුදුදහම ප්‍රචලිතව ඇති තායිලන්තය වැනි ආසියානු රටවල බෞද්ධ සංචාරකයින් ආකර්ෂණය කරගත හැකි වෙතැයි අපේක්ෂා කෙරේ.

මේ තත්ත්වයන් සලකා මෙම කාලය තුළ සංචාරකයින්ගේ පැමිණීම වර්ධනය කර ගැනීම සඳහා තායිලන්තය මෙන් ම ඉහත සඳහන් සෙසු රටවල සංචාරකයින් සඳහා මෙම නිදහස් වීසා පහසුකම ලබාදිය යුතු යැයි සංචාරක සංවර්ධන, වනජීවී හා ක්‍රිස්තියානි ආගමික කටයුතු ඇමති ජෝන් අමරතුංග මහතා ඉදිරිපත් කළ යෝජනාව ඊයේ (26) අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *