ශ්‍රී ලංගම ඩිපෝ වෙනුවෙන් මේ වසරේ විශේෂ ව්‍යාපෘතියක්

(කොළඹ, ලංකාපුවත්) – ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයට අයත් ඩිපෝවල මානව සම්පත මෙන්ම යටිතල පහසුකම් සංවර්ධනයට මේ වසරේදී විශේෂ ව්‍යාපෘතියක් දියත් කරන බව අමාත්‍ය අර්ජුන රණතුංග මහතා පවසයි.

ඇමතිවරයා අවධාරණය කරන්නේ ලාභ ලබනවා සේම සේවක සේවිකාවන්ගේ තෘප්තිය ගැනද සලකා බැලිය යුතු බවයි.

“ශ්‍රී ලංගමයේ සේවක සේවිකාවන්ගේ සේම නිලධාරීන්ගේ වැටුප ඉතාම අඩු වැටුපක්. එපමණක් නෙමෙයි බොහෝ ඩිපෝවල කාර්යාල පහසුකම් ඇත්තෙම නැහැ. වැසිකිලි පහසුකම් නැහැ. සමහර ‍ඩිපෝවල වැසිකිලිවල දොරවල් පවා නැහැ. අබලන් වාහන මෙන්ම යන්ත්‍ර සූත්‍ර තියෙන්නේ. අද මේ තත්ත්වය නිසා ඩිපෝවලට සේවයට තරුණ තරුණියින් එන්නේ නැහැ. මේ තත්ත්වය වෙනස් කළේ නැතිවුණොත් අපිට මේ ඩිපෝ ඉදිරියට ගෙනියන්න බැහැ. ඒ නිසා ඩිපෝවල මානව සම්පත මෙන්ම යටිතල පහසුකම් සංවර්ධනයට අපි විශේෂ ව්‍යාපෘතියක් දියත් කළ යුතුයි. එම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට මුදල් නැහැ කියන්න බැහැ. ඩිපෝවල යටිතල පහසුකම් සංවර්ධනයට පමණක් ප්‍රවාහන අමාත්‍යාංශය රුපියල් මිලියන 203ක් ශ්‍රී ලංකා ගමනා ගමන මණ්ඩලයට ලබා දී තිබෙනවා. නමුත් වැය කර තිබෙන්නේ රුපියල් මිලයන 28ක් පමණයි. ඇයි ඩිපෝවල රෙස්ට් රූම් හැදුවේ නැත්තේ ? ඇයි වැසිකිලි පද්ධතිය හැදුවේ නැත්තේ ? ඇයි කාර්යාල පහසුකම් ටික හැදුවේ නැත්තේ. ඒවිතරක් නෙමෙයි අමාත්‍යාංශයෙන් තව බස් හදන්න රුපියල් මිලියන 40ක් දුන්නා. මේ මුදල්වලින් නියම ‍ප්‍රයෝජන ගන්න ඕන. නැතිව පෙට්ටගමේ දාලා හරියන්නේ නැහැ. ශ්‍රී ලංගමය හිතනව නම් තමන්ගේ ඉඩම් ටික විකුණලා ලාභ පෙන්වන්න, අපේ ඩිපෝටික විකුණලා ලාභ පෙන්වන්න එය නිවැරදි ක්‍රමවේදය නෙමෙයි. අපි ලාභ පෙන්වන්න ඕන අපේ සේවාව තවත් පුළුල් කිරීමෙන්. මම කිසිම විටක මේ ආයතනය පෞද්ගලීකරණය කරන්න දෙන්නේ නැහැ. ආයතනයේ දේවල් විකුණන්න දෙන්නේ නැහැ. අලාභ ලබන තවදුරටත් ගොඩ නගන්න බරි අංශයක් තිබුණොත් පමණක් සුදුසු ආයෝජකයෙක් ගෙන්වලා එය දියුණු කරනවා. නමුත් අපිට ලාභ ලබන්න පුළුවන් දේවල් විකුණන්න සූදානම් නැහැ…”යි අමාත්‍ය අර්ජුන රණතුංග මහතා වැඩිදුරටත් කියා සිටී.

ඔහු මේබව කියා සිටියේ ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩයේ ප්‍රගතිය ගැන සොයා බැලීමේ විශේෂ සාකච්ඡාවකට පසුගියදා (27) එක් වෙමිනි. එම සාකච්ඡාව නාරාහේන්පිට පැවැති ශ්‍රී ලංකා ගමනා ගමන මණ්ඩලයේ ප්‍රධාන කාර්යාලයේදී පැවැත්විණ.

එහිදී අමාත්‍ය අර්ජුන රණතුංග මහතා වැඩිදුරටත් අවාධාරණය කළේ මේ වන විට ශ්‍රී ලංකා ගමන මණ්ඩලයට ප්‍රවාහන අමාත්‍යාංශය විසින් ලබා දුන් මුදල් විශාල වශයෙන් ඉතිරිව ඇති බවත් ඉදිරියේදී එම මුදල් ඩිපෝවල යටිතල පහසුකම් සංවර්ධනය සඳහා යොදවන බවත්ය.

2019 පෙබරවාරි මාසයේ 22 වැනිදා වන විට ප්‍රවාහන අමාත්‍යාංශය ඩිපෝවල යටිතල පහසුකම් සංවර්ධනයට ශ්‍රී ලංකා ගමනා ගමන මණ්ඩලයට ලබා දී තිබෙන සම්පූර්ණ මුදල රුපියල් මිලියන 203කි. එයින් රුපියල් මිලියන 174ක් ඉතිරිව තිබේ. මානව සම්පත් පුහුණුව සඳහා රුපියල් මිලියන 75ක් ලබා දී ඇත. එයින් ඉතිරිය ඇති මුදල රුපියල් මිලියන 42කි. පරිගණක තාක්ෂණයේ සංවර්ධනය සඳහා රුපියල් මිලියන 133ක් ලබා දී ඇත. එයින් මිලියන 18ක් ඉතිරිව තිබේ. මෙම ඉතිරි මුදල් යොදා ගනිමින් මෙම වසරේදී ඩිපෝවල යටිතල පහසුකම් සංවර්ධනය කිරීමට ප්‍රවාහන අමාත්‍යාංශයේ අපේක්ෂාව බවද මෙම සාකච්ඡාවේදී අනාවරණය විය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *