ජාත්‍යන්තර කාන්තා දිනය අදයි: “සුහුරු කතක් – සොඳුරු ලොවක්”

(කොළඹ, ලංකාපුවත්) – ජාත්‍යන්තර කාන්තා දිනය මාර්තු 08 අද දිනට යෙදී තිබේ. ලොව පුරා කාන්තාවන්ගේ අයිතීන් සුරැකෙන හා ඒ සම්බන්ධයෙන් විශේෂ කථිකාවක් සිදුවන දිනයක් ලෙස ද කාන්තා දිනය හැදින්විය හැකිය.

2019 වසරේ ලෝක කාන්තා දිනය කාන්තාවගේ ඉදිරි උන්නතිය සඳහා සමතුලිත අවස්ථා උදා කිරීම විෂය කොටගත් “සුහුරු කතක්- සොඳුරු ලොවක්” තේමාව යටතේ සැමරුම් උත්සවයක් පවැත්වෙන බව කාන්තා හා ළමා කටයුතු සහ වියළි කලාපීය සංවර්ධන අමාත්‍ය චන්ද්‍රානි බණ්ඩාර මහත්මිය සඳහන් කරයි.

කාන්තාවන් 8000ගේ සහභාගීත්වයෙන් යුතුව සමගාමී වැඩසටහන් රාශියකගෙන් සමන්විත ව ජාතික උත්සවය අනුරාධපුරයේ දී පැවැත් වෙයි.

1908 වසරේ මාර්තු 08 වන දින අමෙරිකා එක්සත් ජනපදයේ ඇඟලුම් කර්මාන්ත ශාලාවල සේවය කළ කාන්තාවන් පිරිසක් තම පැය 16යේ සේවා මුරය පැය 10කට සීමා කිරීමේ අයිතිවාසිකම ලබාදෙන මෙන් ඉල්ලා නිව්යෝර්ක් නුවරදී වීදි ඔස්සේ පෙළපාළි ගොස් තිබේ. එම සිදුවීමෙන් වසරකට පසුව එනම් 1909දී අන්තර්ජාතිකව ලෝක කාන්තා දිනයක් පිළිබඳ අඳහසක් ඇතිව තිබේ. නිල වශයෙන් කාන්තා දිනය සැමරිය යුතු බවට තීරණය කෙරුණේ, 1910 වසරේදී කෝපන්හේග් නුවර පැවැති රැස්වීමකින් අනතුරුව ය.

එහිදී ඔවුන් සැමරුම් දිනය ලෙස තෝරාගත්තේ පෙබරවාරි 28 වන දා ය. එහෙත් 1910 කෝපන්හේග් නුවරදී රැස්වුණු අන්තර්ජාතික සමසමාජවාදීන් විසින් ලෝක කාන්තා දිනය ලෙස මාර්තු 8 වන දින නම් කරනු ලැබ තිබේ. මෙලෙස කාන්තා දිනයක් ප්‍රකාශයට පත් කෙරුණේ, කාන්තා අයිතීන් සුරැකීම සහ කාන්තා අභිවෘද්ධිය වෙනුවෙනි.

ප්‍රථම සැමරුම කෝපන්හේග් නුවරදී පැවැති සමුළුවෙන් අනතුරුව 1911දී ලොව රටවල් කිහිපයක ලෝක කාන්තා දිනය සමරනු ලැබී ය.

ඔස්ට්‍රියාව, ඩෙන්මාර්කය, ජර්මනිය සහ ස්විට්සර්ලන්තය එම රටවල් අතරට අයත් වෙයි.පළමු ලෝක යුද්ධය අවසාන වනතුරු කාන්තාවන්ට ඡන්ද අයිතිය හිමිව නොතිබූ අතර ඉන්පසුව ලොව බොහෝ රටවල කාන්තාවන්ට ඡන්ද අයිතිය ද හිමි විය. ලොව සියලුම රටවල කාන්තාවන්ට ඡන්ද අයිතිය ලබා දුන්නේ, දෙවන ලෝක යුද්ධයෙන් පසු එක්සත් ජාතීන්ගේ සංවිධානය බිහිවීමත් සමග ය.

කිසියම් රටක් කාන්තාවට සම තත්ත්වය ලබාදී ඇය රාජ්‍ය පාලනය දක්වා ඔසවා තැබීම වූකලී සමාජ සංවර්ධනයේ ඉහළ අවස්ථාවක් ලෙස සැලකිය හැකිය. ලෝකයේ දියුණු රාජ්‍ය බොහොමයක් රාජ්‍ය පාලනයෙහිලා කාන්තා දායකත්වය නොවඩුව ලබාගත් බව ඉතිහාසය දෙස බැලීමේදී පැහැදිළි වෙයි. භාරතීය දාර්ශනිකයන්ට අනුව “ස්ත්‍රිය යනු වාසනාවේ දෙවඟනය” නැතහොත් නිවසේ දෙවියන් කාන්තාව වන්නී ය.

එහෙත් සමාජ අසාධාරණය,තාඩන, පීඩන,ගැරහුම්, අවමන්වලට ලක්වූ කාන්තාවන් අතිබිහිසුනු තත්ත්වයට පත්වූ අවස්ථාවන් ද නැත්තේ නොවේ. එවැනි අවස්ථා දුර්ගා දේවිය, මූ දේවිය වැනි දෙවඟනන් මඟින් නිරූපණය කෙරේ.

කාන්තාව යනු වරක දියණියක්, මවක්, බිරිඳක්, මිත්තනියක් වන බැවින් ඇයට සැබවින් ම පුරුෂ පාර්ෂවයේ ගෞරවය හිමිවිය යුතුය. නමුත් ඇතැම් අවස්ථාවල ජනමාධ්‍ය තුළ පළවන සිදුවීම් සෙස බලන විට පුරුෂයන් විසින් කාන්තාවට සිදුකරන අපහාස උපහාස සැබවින් ම කාන්තාවට හිමිවිය යුතු නිසි ගෞරවය සමාජය විසින් ඇයට ලබා දෙන්නේ ද යන්න පිළිබඳව නැවත සිතා බැලිය යුතුය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *