විදුලිබල ක්ෂේත්‍රයේ සංවර්ධනය වෙනුවෙන් ලෝක බැංකු ආධාර

(කොළඹ, ලංකාපුවත්) – ශ්‍රී ලංකාව මේ වනවිට මුහුණදී සිටින ආර්ථික අභියෝග හමුවේ, විදුලිබල ක්ෂේත්‍රයේ සංවර්ධනය වෙනුවෙන් ගතහැකි සහ ගතයුතු ක්‍රියාමාර්ග පිළිබදවත් ඒ සදහා ලබාදිය හැකි සහයෝගය පිළිබදවත් සාකච්ඡා කිරීම සදහා ලෝක බැංකු නියෝජිත පිරිසක්, විදුලිබල, බලශක්ති සහ ව්‍යාපාර සංවර්ධන අමාත්‍ය රවී කරුණානායක මහතා හමුවී නිල සාකච්ඡා පැවැත්විණි.

පසුගියදා විදුලිබල, බලශක්ති සහ ව්‍යාපාර සංවර්ධන අමාත්‍යාංශ පරිශ්‍රයේදී පැවති මෙම නිල හමුවේදී විවිධ ක්ෂේත්‍රයන් ඔස්සේ දීර්ඝ වශයෙන් සාකච්ඡා පැවති අතර විදුලිබල ක්ෂේත්‍රයේ සංවර්ධනය වෙනුවෙන් යෝජනා සහ තීන්දු තීරණ රාශියකට එළඹීමට හැකිවී තිබේ.

ශ්‍රී ලංකාව විදුලිය ලබාදීම අතින් ප්‍රශස්ථ මට්ටමක පැවතියත්, විදුලි උත්පාදනයේදී ඒ වෙනුවෙන් අධික වියදම් සහිත ප්‍රභවයන් මත යොමු වෙමින්, ලෝකයේ අනෙක් රටවල් මත යැපෙන මට්ටමකට පත්වී ඇති බව ලෝක බැංකු නියෝජිතයන් විසින් පවසන ලදී.

විදුලි උත්පාදනය සදහා මිල අවම ජල ප්‍රභවයන් මත රැදී සිටි ශ්‍රී ලංකාව, ජල පෝෂොකයන්ගේ සීමිත බව සහ දෛනිකව වර්ධනය වන විදුලි ඉල්ලුම සපුරාලීම වෙනුවෙන් මිල අධික උත්පාදන ක්‍රමයන් වෙත යොමුවීමට සිදුවූ බවත්, මේ වනවිට බලශක්ති උත්පාදනයේ දිශානතිය පුනර්ජනනීය ක්ෂේත්‍රයන් වෙත යොමුකරවීමට ක්‍රියාකර ඇති අතර ඉදිරි අනාගතයේදී විදුලි උත්පාදනය සම්පූර්ණයෙන්ම මිල අවම, පරිසර හිතකාමී පුනර්ජනනීය ප්‍රභවයන් මත පමණක්ම සිදුකිරීමට අවශ්‍ය සැලසුම් සකස් කෙරෙමින් පවතින බවත්, විෂයභාර අමාත්‍ය රවී කරුණානායක මහතා ලෝක බැංකු නියෝජිත පිරිස වෙත කරුණු පැහැදිළි කිරීමක් සිදු කළේය.

එම පැහැදිළි කිරීමෙන් අනතුරුව ලෝක බැංකු නියෝජිත පිරිස පවසා සිටියේ, විදුලි උත්පාදනය, සම්ප්‍රේෂණය සහ බෙදාහැරීම යන කාර්යයන් මිල අවමවන ආකාරයෙන් වඩාත් සුරක්ෂිත මෙන්ම කාර්යක්ෂමව සිදුකිරීම වෙනුවෙන් අවශ්‍ය තාක්ෂණික ක්‍රමෝපායන් පිළිබදව ශ්‍රී ලාංකික විදුලිබල ක්ෂේත්‍රයේ නියැලෙන්නන් දැනුවත් කිරීම සදහා උපදේශන සේවා සහ පුහුණු වැඩමුළු පැවැත්වීමට හැකි බවත්, ඒ තුළින් ශ්‍රී ලංකාව අනෙක් රටවල් මත යැපීමේ ක්‍රමවේදයෙන් බැහැරවීමට අවශ්‍ය සහාය ලබාදිය හැකි බවත්ය.

තවද ශ්‍රී ලංකාව තුළ ස්ථාපිත කළ අඩුවියදම් විදුලි ව්‍යාපෘති සම්බන්ධයෙන් අවධානය යොමුකර ඒ වෙනුවෙන් මූල්‍ය ආධාර සැපයීමට හැකියාව ඇති බවත්, ශ්‍රී ලංකාව කලාපයේ අනෙකුත් රටවල් අතරින් සමස්ත දිවයිනම ආවරණය වන පරිදි පැය 24 ම, අවම මිලක් යටතේ, අඛණ්ඩව විදුලිබලය සපයන එකම රට බවට පත්කිරීම සදහා අවශ්‍ය උපාය මාර්ග හදුන්වාදීමට අදහස් කරන බවත් ලෝක බැංකු නියෝජිත පිරිස, විදුලිබල,බලශක්ති සහ ව්‍යපාර සංවර්ධන අමාත්‍ය රවී කරුණානායක මහතාට වැඩිදුරටත් පැවසීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *