වසරකට ලක්ෂයක් අන්ධවීමේ අවදානමක

(කොළඹ, ලංකාපුවත්) – මෙරට ජනගහනයෙන් මිලියන 1.2ක් පමණ පෙනීම අඩු වීම නිසා පීඩා විඳින අතර මෙම පිරිස අතරින් ලක්ෂයක් පමණ දෙනා අන්ධභාවයට පත්වෙමින් සිටින බව ජාතික අක්ෂි රෝහලේ දත්ත අනාවරණය කර ඇතැයි ජාතික අක්ෂි රෝහලේ වැඩබලන අධ්‍යක්ෂ වෛද්‍ය අයි.එල්. මොහොමඩ් රිෆාස් මහතා පැවසීය.

ඇසේ සුද මතුවීම, වර්තන දෝෂ, ග්ලෝකෝමාව, දියවැඩියා රෙටිනෝපති තත්ත්වය සහ දරුවන් අතර ඇති වන අන්ධභාවය යනාදිය අන්ධභාවයට තුඩු දෙන ප්‍රධාන හේතු ලෙස පෙන්වා දිය හැකි බව රිෆාස් මහතා කියා සිටියේය.

මේ වන විට බහුතරයක් දෙනා අන්ධභාවයට පත්වී ඇත්තේ ඇසේ සුද මතුවීම නිසා බවත් මෙය සාමාන්‍යයෙන් වියපත් වීමත් සමඟ ඇති වන තත්ත්වයක් වුවද උපතේ සිට ඇති වන සංකූලතා, ඇසට සිදුවන අනතුරු සහ දීර්ඝකාලීන රෝග තත්ත්ව වැනි හේතු නිසාද ඇසේ සුද මතු වීමට ඉඩකඩ පවතින බවත් රිෆාස් මහතා පෙන්වා දුන්නේය.

මේ කරුණු හේතුකොටගෙන රජයේ රෝහල්වල නොමිලේ අක්ෂි සැත්කම් සිදු කිරීම සඳහා අවශ්‍ය අක්ෂි කාච ලක්ෂයක් ලබාදීමට සූදානම් වන බව සෞඛ්‍ය අමාත්‍යාංශය ප්‍රකාශ කරයි.

මේ වන විටත් රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව අක්ෂි කාච 90,000ක් ගෙන්වීමට සැලසුම් කර ඇති අතර මේ වසරේදීද තවත් අක්ෂි කාච 40,000ක් ගෙන්වීමට නියමිත බවත් වාර්ෂිකව ඒ සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශය රුපියල් බිලියන 1. 4ක් වැය කරන බවත් සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කරයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *