මනුෂ්‍යභාවයක් ඇති ආණ්ඩුවක් බවට අපි නැවතත් ඔප්පු කරලා තිබෙනවා – ඇමති රවී

(කොළඹ, ලංකාපුවත්) – “මාස ගණනකට පෙර ඇති වූ ඝාතන සිද්ධියකදී දිවි අහිමි වූ අපේ පොලිස් නිලධාරියෙක් වන පොලිස් කොස්තාපල් අලගරත්නම් ගනේෂ් මහතාට දක්වන උපහාරයක් වශයෙන්, ඒ මහතාගේ නැගණියගේ ස්වාමිපුරුෂයාට අද අපි ලංකා විදුලිබල මණ්ඩල‍යේ රැකියා අවස්ථාවක් ලබා දුන්නා. මේ සම්බන්ධයෙන් අතිගරු ජනාධිපතිතුමාත් ඉල්ලීමක් කරලා තිබුණා. මෙම විශිෂ්ඨ කාර්යය තුළින් මනුෂ්‍යභාවයක් ඇති ආණ්ඩුවක් බවට අපි නැවතත් ඔප්පු කරලා තිබෙනවා. අපිට අවශ්‍ය වන්නේ සිංහල, දෙමළ, මුස්ලිම්, බර්ගර්, මැලේ යන සියළු ජාතීන්ට මේක තමන්ගේ රට කියන හැගීමෙන් ජීවත්වීමේ වාතාවරණයක් ඇති කිරීමයි” යැයි විදුලිබල, බලශක්ති සහ ව්‍යාපාර සංවර්ධන අමාත්‍ය රවී කරුණානායක මහතා අවධාරණය කරයි.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ පසුගිය වසරේ නොවැම්බර් 30 දින වව්නතිව් පොලිස් ඝාතන සිද්ධියේදි දිවි අහිමිවූ පොලිස් කොස්තාපල් අලගරත්නම් ගනේෂ් මහතාට උපහාරයක් වශයෙන්, ඔහුගේ සහෝදරයෙක් චන්ද්‍රසේකරම් කුමුතන් මහතාට ලංකා විදුලිබල මණ්ඩලයේ පත්වීමක් ප්‍රදානය කිරීමේ අවස්ථාවට එක් වෙමිනි.

අද (12) පෙරවරුවේදී, පාර්ලිමේන්තු පරිශ්‍රයේදී පැවති මෙම අවස්ථාවේදි ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමන් විසින් අදාළ පත්වීම් ලිපිය ප්‍රදානය කළ අතර අගමැති රනිල් වික්‍රමසිංහ මහතා සහ අමාත්‍ය රවී කරුණානායක මහතාද මෙම අවස්ථාවට සහභාගි වූහ.

වව්නතිව් පොලිස් වසමේ රාජකාරියේ යෙදී සිටියදී ඇතිවූ ඝාතන සිද්ධියේදී වව්නතිව් පොලීසියේ සේවයේ යෙදී සිටි පොලිස් කොස්තාපල් අලගරත්නම් ගනේෂ් සහ පොලිස් කොස්තාපල් වල්පිටගමගේ නිරෝෂන් ඉන්දික ප්‍රසන්න යන පොලිස් නිලධාරින් දෙදෙනා පසුගියදා ජිවිතක්ෂයට පත්වූහ.

කල්මුණ, 1 ඒ, සර්වෝදය පාරේ පදිංචිව සිටි අලගරත්නම් ගනේෂ් මහතා පොලිස් සේවයට එක්වි වසර 6 කි. අවිවාහක පොලිස් නිලධාරියෙකු වූ ඒ මහතාගේ අභාවයෙන් ඇතිවූ ආර්ථික දුෂ්කරතා මගහරවා ගැනීම පිණිස ඔහුගේ නැගණියගේ ස්වාමිපුරුෂයා වන චන්ද්‍රසේකරම් කුමුතන් මහතා වෙත මෙසේ ලංකා විදුලිබල මණ්ඩලයේ රැකියා අවස්ථාවක් හිමිවී තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *