ඉන්දීයාවේ ‘කොමාන්ඩෝ‘ හිස්වැස්මට පාකිස්තානයෙන් විරෝධයක්

(කොළඹ, ලංකාපුවත්) – ඔස්ට්‍රේලියානු පිල සමග පසුගියදා රන්චි නුවර පැවැති තුන්වැනි එක්දින තරගයේදී ඉන්දීය යුද හමුදාවේ හිස් වැසුම්වලට සමාන කොමාන්ඩෝ හිස්වැසුම් පැළඳ ක්‍රීඩා කිරීම පිළිබඳ එරට ක්‍රිකට් පිලට එරෙහිව ක්‍රියාමාර්ගයක් ගන්නා ලෙස පාකිස්තානය ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයෙන් ඉල්ලා සිටී.

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයට ලිපියක් යොමු කරමින් පාකිස්තාන ක්‍රිකට් ආයතනය සඳහන් කර ඇත්තේ මෙය ක්‍රිකට් ක්‍රීඩාවට දේශපාලන මුහුණුවරක් ගෙන දුන් සිදුවීමක් ලෙසය.

ඉන්දියාවේ කාශ්මීර් ප්‍රදේශයේදී එරට විශේෂ පොලිස් බලකායේ යුද බස් රථයක් ඉලක්ක කරමින් පසුගිය පෙබරවාරි මාසයේ එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරයෙන් මියගිය ඉන්දියාවේ විශේෂ පොලිස් බලකායේ 40කට ආසන්න නිලධාරීන් පිරිසට උපහාර ලෙස ඉන්දීය ක්‍රිකට් පිල යුද හමුදා හිස් වැසුම් විශේෂයක් පැළඳ ක්‍රීඩා කර තිබිණි.

ඉන්දියාව සිය ක්‍රීඩකයන් දේශපාලන කටයුතු සඳහා යොදාගත් දෙවැනි අවස්ථාව මෙය බව සඳහන් කරන පාකිස්තාන ක්‍රිකට් පාලක මණ්ඩලය එම සිදුවීම තරයේ හෙළා දකින බව ද කියා සිටී.

කෙසේවෙතත් සිය ක්‍රීඩකයන්ට මියගිය පොලිස් නිලධාරීන්ට උපහාර ලෙස එරට හමුදා හිස්වැසුම් පැළඳ ක්‍රීඩා කිරීමට ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ ප්‍රධාන විධායක නිලධාරියාගේ අවසරය ලබාගත් බව ඉන්දීය මාධ්‍ය සඳහන් කරයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *