වසරකට 500ක් ක්ෂය රෝගයෙන් මරුට

(කොළඹ, ලංකාපුවත්) – ක්ෂය රෝගය හේතුවෙන් වසරකට මෙරට තුළ පුද්ගලයන් 450 – 500 අතර ප්‍රමාණයක් මියයන බව ක්ෂය රෝග මර්දන ඒකකයේ කොළඹ දිස්ත්‍රික් ක්ෂය රෝග මර්දන නිලධාරී වෛද්‍ය ලක්මාල් රත්නායක මහතා පැවසීය.

2017 වසර තුළ දිවයින පුරා ක්ෂය රෝගීන් 8,553ක් වාර්තා වී ඇති අතර 2018 වසරේ එම ප්‍රමාණය 8,856 දක්වා ඉහළ ගොස් තිබේ. ඒ අතුරින් රෝගීන් 2,888 දෙනෙකු කොළඹ දිස්ත්‍රික්කය තුළින් වාර්තා වී ඇති බවත් මෙසේ වාර්තා වූ රෝගීන්ගෙන් බහුතරයක් මියයන්නේ ක්ෂය රෝගය කල්තියා හඳුනා නොගැනීම නිසා බවත් වෛද්‍ය ලක්මාල් රත්නායක මහතා පැවසීය. කොළඹ දිස්ත්‍රික්කය තුළ පමණක් වසරකට ක්ෂය රෝගීන් 150ක් පමණ මියයති. වෛද්‍ය ලක්මාල් රත්නායක මහතා මෙසේ පැවසීය.

“ක්ෂය රෝගය වැලඳී හඳුනා ගැනීමට මාස 02 – 03ක් ප්‍රමාද වුවහොත් එවිට පෙණහලු සහ පෙණහලු පටක විනාශ විය හැකියි. ඒ වගේම සති දෙකකට වඩා කැස්ස පවතී නම් ඇඟ කෙට්ටු වේ නම් සහ ආහාර අප්‍රියතාව පවතී නම් ක්ෂය රෝග පරීක්ෂාවක් සිදුකළ යුතුයි. අපේ අරමුණ 2025 වසර වන විට මෙරට තුළින් ක්ෂය රෝගය තුරන් කිරීමයි. මේ සඳහා පූර්ව ක්ෂය රෝග හඳුනාගැනීමේ අරමුණින් විශේෂිත ජාන පරීක්ෂණ යන්ත්‍ර කිහිපයක් ලංකාවට ගෙනවිත් තිබෙනවා. සෑම දිස්ත්‍රික්කයකටම මෙවැනි යන්ත්‍ර ලබාදී ඇති අතර කොළඹ දිස්ත්‍රික්කයට පමණක් මෙවැනි යන්ත්‍ර 05ක් ලබා දී තිබෙනවා.”

Leave a Reply

Your email address will not be published. Required fields are marked *