නොමිලේ අක්ෂි කාච ලක්ෂයක්

(කොළඹ, ලංකාපුවත්) –රජයේ රෝහල්වල අක්ෂි සැත්කම් සිදු කිරීම සඳහා නොමිලේ අක්ෂි කාච ලබාදීමේ වැඩපිළිවෙළ යටතේ අක්ෂි කාච ලක්ෂයක් නොමිලේ ලබා දීමට සෞඛ්‍ය අමාත්‍යාංශය සමත් වී තිබේ.

සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනානායක මහතාගේ සංකල්පයක් මත ආරම්භ කෙරුණු මේ වැඩපිළිවෙළ යටතේ නොමිලේ අක්ෂි කාච ලක්ෂයක් ලබාදීම සැමරීමේ උත්සවයක් පෙරේදා (11) කොළඹ ජාතික අක්ෂි රෝහලේදී පැවැත්විණි.

2014 වර්ෂය තුළ සිදු කළ සමීක්ෂණයකට අනුව විවිධ අක්ෂි රෝගවලට ගොදුරු වී සිටි පුද්ගලයන් ලක්ෂ 10ක් පමණ සොයා ගෙන ඇති අතර පසුගිය වසර කිහිපය තුළ සිදු කළ සමීක්ෂණයකදී ලක්ෂ 12කට අධික ජනතාවක් අන්ධභාවයට ලක්වෙමින් සිටින බව අනාවරණය වී තිබේ. මෙම පුද්ගලයන් අන්ධභාවයෙන් මුදා ගැනීමේ අරමුණින් මෙසේ නොමිලේ අක්ෂි කාච බෙදා දී ඇති අතර මේ යටතේ 2017 වර්ෂයේ පමණක් රජයේ රෝහල් තුළ අක්ෂි සැත්කම් 67,000ක් සිදු කර තිබේ.

වෛද්‍යවරුන්ගෙන් සියයට 95ක් පමණ නොමිලේ අක්ෂි කාච ලබාදීමේ වැඩපිළිවෙළට සහාය පළ කර ඇති අතර වෛද්‍යවරුන්ගෙන් සියයට 5ක් පමණ අකමැත්ත ප‍ළ කර ඇති බව මෙහිදී අදහස් දක්වමින් සෞඛ්‍ය පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පැවසීය. එසේම 2019 වර්ෂය අවසන් වනවිට අක්ෂි කාච නොමිලේ ලබා දීමේ සීමාව දෙලක්ෂය දක්වා වැඩි කිරීම සෞඛ්‍ය අමාත්‍යංශයේ අරමුණ වී තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *