කෙන්යාවේදී ජනපතිට ඉහළ පිළිගැනීමක්

(කොළඹ, ලංකාපුවත්) – කෙන්යාවේ නයිරෝබි නුවර පැවැත්වෙන එක්සත් ජාතීන්ගේ පරිසර සමුළුවේ හතරවන සැසිවාරය සඳහා සහභාගිවීමට දිවයිනෙන් පිටත්ව ගිය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ඊයේ (13) රාත්‍රියේ නයිරෝබි හි ජොමො කෙන්යාටා ජාත්‍යන්තර ගුවන් තොටුපොළ වෙත ළගා විය.

එහිදී එරට විශේෂ නියෝජිත පිරිසක් විසින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ඇතුළු ශ්‍රී ලංකා දූත පිරිස හරසරින් පිළිගන්නා ලදී.

කෙන්යා විදේශ කටයුතු ප්‍රධාන පරිපාලන ලේකම් Ababu Namwamba ජලසම්පාදන හා සනීපාරක්ෂක කටයුතු පිළිබඳ අමාත්‍ය මෙන්ම කැබිනට් ලේකම් Simon Kiprono Chelugui යන මහත්වරුන් සහ කෙන්යාවේ ශ්‍රී ලංකා මහකොමසාරිස් සුනිල් ද සිල්වා මහතා ඇතුළු පිරිසක් එම අවස්ථාවට එක්ව සිටියහ.

මේ අතර ජනාධිපතිතුමා නවාතැන් ගන්නා හෝටලයේ දී ද එරට ශ්‍රී ලංකා මහකොමසාරිස් කාර්යාලයේ නිලධාරින් විසින් ජනාධිපතිතුමාව සාම්ප්‍රදායානුකූලව පිළිගනු ලැබීය.

කෙන්යා ජනාධිපති උහුරු කෙන්යාටා මැතිතුමාගේ ආරාධනයකට අනුව ජනාධිපතිතුමා එක්සත් ජාතින්ගේ පරිසර සමුළුවේ හතරවන සැසිවාරයේ විශේෂ ආරාධිත අමුත්තෙකු ලෙස එක් වෙයි.

ශ්‍රී ලංකාවේ පරිසර අමාත්‍යවරයා ලෙස මෙන්ම පරිසරය සුරැකීම වෙනුවෙන් වැදගත් තීන්දු තීරණ රැසක් ගත් නායකයෙකු ලෙස ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ සහභාගිත්වය සමුළුව තුළ සුවිශේෂි බව කෙන්යාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් සුනිල් ද සිල්වා මහතා පෙන්වා දෙයි.

“පරිසර අභියෝග සහ තිරසර පරිභෝජනය හා නිෂ්පාදනය සඳහා නවෝත්පාදක විසඳුම්” යන්න මෙවර සමුළුවේ තේමාව වන අතර ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා අද දහවල් සමුළුව අමතා සිය විශේෂ දේශනය ඉදිරිපත් කිරීමට නියමිතය.

ප්‍රංශ ජනාධිපති එමැනුවෙල් මැක්රොන් මැතිතුමා ඇතුළු රාජ්‍ය තාන්ත්‍රිකයෝ කිහිප දෙනෙකු ද සමුළුවට එක් වෙයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *