ත්‍රිපිටකය ලෝක උරුමයක් කරන යෝජනා 23වනදා එළිදකී

(කොළඹ, ලංකාපුවත්) –බෞද්ධ දර්ශනයේ සාරගර්භ හරය වන ත්‍රිපිටකය ලෝක උරුමයක් ලෙස ප්‍රකාශයට පත්කරන ලෙසට යුනෙස්කෝ සංවිධානය වෙත සියලු බෞද්ධ රටවල සහයෝගයෙන් ශ්‍රී ලංකාව ඉදිරිපත් කරන යෝජනා ප්‍රකාශයට පත්කිරීම මේ මස 23වැනිදා ත්‍රෛනිකායික මහා සංඝරත්නයේ ප්‍රධානත්වයෙන් ඓතිහාසික දළදා මාලිගාව මහමළුවේ දී සිදුකෙරේ.

ඊට සමගාමීව හෙට (16) සිට 23වැනිදා දක්වා සතිය ත්‍රිපිටකාභිවන්දනා සතිය ලෙස නම්කර විශේෂ බෞද්ධාගමික වැඩසටහන් රැසක් දිවයින පුරා සංවිධානය කර ඇත.

මේ අනුව එම සතිය තුළ සෑම විහාරස්ථානයකම පස්වරු 6.00 සිට 6.15 දක්වා ශබ්ද පූජා පැවැත්වේ. 16 වැනිදා (හෙට) පොලිස් වසම් මට්ටමින් දීපව්‍යාප්ත පිණ්ඩපාත දානමය පින්කමද විදෙස් රටවල ශ්‍රී ලාංකික විහාරස්ථානවල පුණ්‍ය වැඩසටහන් ක්‍රියාත්මක වෙයි.

පසුගිය ජනවාරි මස 05 වැනිදා ත්‍රිපිටකය ජාතික උරුමයක් ලෙස ප්‍රකාශයට පත්කිරීම මාතලේ අලුවිහාර පුදබිමේදී සිදුකෙරිණි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *