උප්පැන්නයටත් ජාතික හැඳුනුම්පතටත් එකම අංකයක් එයි

(කොළඹ, ලංකාපුවත්) – නව උප්පැන්නයක් හඳුන්වා දීමට පියවර ගන්නා බවත් එහි ආරක්ෂිත ක්‍රමෝපායයන් රැසක් තිබෙන බවත් අභ්‍යන්තර හා ස්වදේශ කටයුතු සහ පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය වජිර අබේවර්ධන මහතා පැවසීය.

ඇමතිවරයා කියා සිටියේ වසර 155ක ඉතිහාසයක් තුළ ජනතාවට මහා ඛේදවාචකයක් ලෙස රෙජිස්ට්‍රාර් ජනරාල් දෙපාර්තමේන්තුව පැවතුණු බවත් එම තත්ත්වය වෙනස් කර මෙම දෙපාර්තමේන්තුව ඉහළ තලයකට ගෙන ඒමට අවශ්‍ය පියවර රැසක් මේ වන විට ගෙන ඇති බවය.

අමාත්‍ය වජිර අබේවර්ධන මහතා මේ වන බව පැවසූවේ ඉඩම් ලියාපදිංචි කිරීමේ එක්දින සේවාව හා භාෂා ද්විත්වයෙන්ම ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුකූලව සැකසුණු නව උප්පැන්න සහතිකය නිකුත් කිරීම පිළිබඳව අද (14) කොළඹ 07,ශ්‍රී ලංකා සංවර්ධන පරිපාලන ආයතනයේදී පැවති මාධ්‍ය හමුවේදීය.

මෙම සේවාවේ ජාතික මහෝත්සවය අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් හෙට(16) රෙජිස්ට්‍රාර් ජනරාල් දෙපාර්තමේන්තුවේදි පැවැත්වීමට නියමිතය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා,

නව උප්පැන්න සහතිකයක් නිකුත් කරනවා. උප්පැන්න සහතිකය නික්තු කරන අවස්ථාවේදීම ජාතික හැදුනුම්පත් අංකය නිකුත් වෙනවා. ඒ අනුව වංචනික උප්පැන්න සහතික නිකුත් කිරීමට නොහැකි වී තිබෙනවා. ජාත්‍යන්තර ප්‍රමිතියට අනුව මුළු රටපුරා ඉලෙක්ට්‍රොනික් උප්පැන්න සහතික නිකුත් කිරීම ආරම්භ වෙනවා. ඒ උප්පැන්න සහතිකය වගේම විවාහ සහතික, මරණ සහතිකවලද විශාල වෙනස්කම් ගණනාවක් වෙනවා. උප්පැන්න සහතිකය අවශ්‍ය නොවන, පුරවැසියෙක් ලෙස අසිරුතාවයකට පත්වන කරුණු ඉවත් කිරීමට අවශ්‍ය කටයුතු සිදු කර තිබෙනවා. ශ්‍රී ලාංකික අනන්‍යතාවය තහවුරු කර තිබෙනවා. ඒ අනුව මෙම දෙපාර්තමේන්තුව ඉහළ තලයකට ගෙන ඒමට අවශ්‍ය පියවර අරගෙන තියෙනවා. මෙය ජාතික අවශ්‍යතාවයක්.”

මෙහි දී අදහස් දැක්වූ රෙජිස්ට්‍රාර් ජනරාල් චතුර විතානගේ මහතා කියා සිටියේ ශ්‍රී ලංකාවේ භාවිතවන උප්පැන්න සහතිකවලින් සියයට 17ක් හොර උප්පැන්න බවයි. එමෙන් ම විවාහ සහතිකවලින් සියයට 13ක් හොර විවාහ සහතික බවත්, සියයට 11ක් මරණ සහතික හොරට සාදා ඇති බවත් මෙරට තිබෙන ඔප්පුවලින් සියයට 42ක් හොර ඔප්පු බවත් ඔහු කියා සිටියේය.

රෙජිස්ට්‍රාර් ජනරාල්වරයා වැඩිදුරටත් මෙසේ ද කීවේය.

”අපි මේ තත්ත්වය වෙනස් කරනවා. නව උප්පැන්නයක් හඳුන්වා දෙනවා. එහි ආරක්ෂිත ක්‍රමෝපායයන් රැසක් තිබෙනවා. අධෝ රක්ත කිරණ මගින් දර්ශනය කළ හැකි රාජ්‍ය ලාංඡනයක් ඉන් ප්‍රධානයි. ආරක්ෂිත ස්ටිකරයක් සහ පරිගණක කේත ක්‍රමයක් ද මේ උප්පැන්න සහතිකයට අඩංගු කර තිබෙනවා. ඒ වගේම මෙතෙක් උප්පැන්න සහතිකයේ තිබූ පුද්ගකත්වයට හානිවන ස්ථාන කිහිපයක් අපි ඉවත් කළා. තමන්ට අවශ්‍ය භාෂා ද්විත්වයකින් උප්පැන්න සහතිකය ලබාගන්න පුළුවන්. ඒ අනුව 2019 ජනවාරි 01 දා සිට උපන් සියලු දෙනාට මේ ජාතික උප්පැන්න සහතිකය ලබාදෙනවා. පසු අදියරක දී පැරණි උප්පැන්නත් මේ ආකාරයෙන් වෙනස් කරන්න බලාපොරොත්තු වෙනවා. ”

Leave a Reply

Your email address will not be published. Required fields are marked *