අල්ලස දූෂණයට එරෙහි පස් අවුරුදු සැලැස්ම අද එළි දකියි

(කොළඹ, ලංකාපුවත්) –අල්ලස දූෂණය වපුරන රාජ්‍ය හා පෞද්ගලික අංශයේ නිලධාරීන්, දේශපාලනඥයන් ඇතුළු සියලු දෙනා නීතියේ රැහැනට කොටු කර ගැනීමට සැකසූ නව පස් අවුරුදු ජාතික ක්‍රියාකාරී සැලැස්ම එළි දැක්වීම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් අද (18) පෙරවරුවේදි කොළඹදී සිදු කෙරේ.

ශ්‍රී ලංකාව තුළ වංචාව සහ දූෂණය තුරන් කරමින් එමගින් ආර්ථික සමාජීය සංස්කෘතික සහ පාරිසරික වශයෙන් තිරසර සංවර්ධනයක් උදා කර ගැනීම මෙම ක්‍රියාකාරී සැලැස්ම සකස් කර ගැනීමේ අරමුණයි.වසරක පමණ කාලයක් අල්ලස් පනතේ අල්ලස දූෂණය වත්කම් බැරකම් දඩුවම් සහ වෙනත් ඊට අදාළ දුර්වල නීති රීති අණ පනත් වලට සම්බන්ධ කරුණු කැබිනට් මණ්ඩල අනුමැතියෙන් සංශෝධනය කර ඒ අනුව මෙම නව නීති රීති ඇතුළත් පස් අවුරුදු ජාතික ක්‍රියාකාරී සැලැස්ම සකස් කර තිබේ. මෙරට සියලුම රාජ්‍ය ආයතන ව්‍යුහයන් තුළ අල්ලස නිවාරණය, හර පද්ධති වැඩි දියුණු කිරීම, දඩුවම් ක්‍රම වේද හා නීති ප්‍රතිපත්ති සංශෝධනය කිරීම යන ප්‍රධාන සාධක පදනම් කර ගනිමින් මෙම ජාතික ක්‍රියාකාරී සැලැස්ම සකස් කර තිබෙන අතර එහිදී සාකච්ඡා වට හතලිහක් පමණ පවත්වා විද්වතුන්, විදෙස් විශේෂඥයන්, මහජනතාව ඇතුලු විවිධ තාරා තිරම් වල පිරිස් වල අදහස් විමසීමට අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසම් සභාව කටයුතු කොට ඇත.

මහජනතාව විවිධ වූ සේවාවන් ඉටු කර ගැනීමට යාමේදී කිසිම පුද්ගලයෙකුගෙන් නීත්‍යානුකූලව අය කළ යුතු යම් මුදලක් වේද එය හැර වෙනත් කිසිදු ආකාරයකින් මුදලක්, ත්‍යාගයක් හෝ වෙනත් අල්ලස් වශයෙන් ගැණෙන කිසිවක් ලබා ගැනීමට රාජ්‍ය නිලධාරීයෙකුට නොහැකි වන පරිදි මෙම නීති රීති ඔස්සේ රාජ්‍ය නිලධාරීන් බරපතල ලෙස සිර කර තිබේ.

ඒ අතරම සෑම රාජ්‍ය ආයතනයකටම සුපිළිපන්න නිලධාරියෙකු ඇතුලු රාජකාරී කටයුතු අධීක්ෂණය කරන නිලධාරීන් යොදවා ඇත.

2016 වසරේදී බ්‍රිතාන්‍ය යේ පැවැති දූෂණ විරෝධි සමුළුව අමතා දූෂණ නිවාරණ ඉලක්ක සපුරාගැනීම සඳහා ජාතික ක්‍රියාකාරී සැලැස්මක් සකස් කරන බවට ජනාධිපතිවරයා දුන් පොරොන්දුව අණුව ජනාධිපතිවරයාගේ මග පෙන්වීමෙන් මෙම ජාතික ක්‍රියාකාරී සැලැස්ම සකස් කිරිමට පියවර ගැණිනි.

එමෙන්ම පසුගිය වසරේ ජූලි මාසයේදී කොළඹදී පැවැත්වුණු එක්සත් ජාතීන්ගේ දූෂණ විරෝධි ප්‍රඥප්තියේ විශේෂඥ සමුළුවේදීද රටක් වශයෙන් ඉදිරියට යාමටනම් රටේ සියලු අංශ තුළ සුපිළිපන්න බව වර්ධනය කිරීමේ ජාතික ක්‍රියාකාරී සැලැස්මක අවශ්‍යතාවය අවධාරණය කෙරිණි.

මෙම ජාතික ක්‍රියාකාරී සැලැස්ම එළි දැක්වීමේ අවස්ථාවට මැති ඇමැතිවරුන්, රාජ්‍ය නිලධාරීන්, දෙස් විදෙස් විද්වතුන් ඇතුළු විශාල පිරිසක් ඒවීමට නියමිතය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *