‘ත්‍රිපිටකාභිවන්දනා’ සතිය ඇරඹේ

(කොළඹ, ලංකාපුවත්) –ශ්‍රී ලාංකික භික්ෂු පරම්පරාව රැකගෙන ආ නිර්මල බුදු දහම අන්තර්ගතවූ ථෙරවාද ත්‍රිපිටකය ලෝක උරුමයක් ලෙස ප්‍රකාශයට පත්කරන ලෙසට යුනෙස්කෝ සංවිධානයට ඉදිරිපත් කෙරෙන යෝජනාවට පූර්වගාමීව ප්‍රකාශයට පත්කර ඇති ‘ත්‍රිපිටකාභිවන්දනා සතිය’ දැන් අැරඹී අැත.

ත්‍රිපිටක ධර්ම දායාදය ලෝක උරුමයක් බවට පත් කර සංරක්ෂණය කරවීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ගත් පියවර අනුව පෙරේදා (16) සිට එළඹෙන සෙනසුරාදා (23) දක්වා වන සතිය මෙසේ ‘ත්‍රිපිටකාභිවන්දනා සතිය’ ලෙසින් ප්‍රකාශයට පත්කර ඇත. දීප ව්‍යාප්තව පිණ්ඩපාත දානමය පිංකම් මාලාවක් සහ සියලු දහම් පාසල් කේන්ද්‍ර කර ගනිමින් විශේෂ වැඩසටහන් මාලාවක් එහි පළමු දෙදින තුළ පැවැත්විණි.

ථෙරවාද ත්‍රිපිටකය ලෝක උරුමයක් ලෙස ප්‍රකාශයට පත් කරන ලෙසට යුනෙස්කෝ සංවිධානය වෙත සියලු බෞද්ධ රටවල සහයෝගයෙන් ශ්‍රී ලංකාව විසින් මෙම යෝජනාව ඉදිරිපත් කරනු ලැබීය.

එම යෝජනාව ප්‍රකාශයට පත් කිරීමේ ජාතික මහෝත්සවය ත්‍රෛනිකායික මහා නායක හිමිවරුන් ප්‍රමුඛ මහා සංඝරත්නයේ ප්‍රධානත්වයෙන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ සහභාගිත්වයෙන් මාර්තු 23 වැනිදා මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ මහමළුවේදී පැවැත්වීමට නියමිතය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *