ඇමති රවීගෙන් 29වනදා විශේෂ ප්‍රකාශයක්

(කොළඹ, ලංකාපුවත්) – “විදුලිබල මණ්ඩලයෙන් මේ වනවිට විදුලි කප්පාදුව පිළිබදව නිවේදන නිකුත් කරලා තිබෙනවා. 29 දා මම පාර්ලිමේන්තුවේදී ඒ සම්බන්ධයෙන් පැහැදිළි පිළිතුරු ලබාදෙනවා.“ යැයි විදුලිබල, බලශක්ති සහ ව්‍යාපාර සංවර්ධන අමාත්‍ය රවී කරුණානායක මහතා පවසයි.

ජාත්‍යන්තර පරමාණුක ශක්ති ආයතනයට අනුබද්ධිත න්‍යෂ්ටික තාක්ෂණය සඳහා වූ ආසියා සහ ශාන්තිකර කලාපීය රටවල 41 වන සහයෝගීතා සමුළුව අද(26) සිට 29 දක්වා කොළඹ ගලදාරි හෝටලයේදී පැවැත්වේ. එම සමුළුවෙහි සමාරම්භක උත්සවය අද කොළඹ ගලදාරි හෝටලයේදී ආරම්භ වූ අතර එහි ආරාධිත අමුත්තා වශයෙන් සහභාගි වූ විදුලිබල,බලශක්ති සහ ව්‍යාපාර සංවර්ධන අමාත්‍ය රවී කරුණානායක මහතා සහභාගී විය.

ජාත්‍යන්තර පරමාණුක ශක්ති ආයතනය හා ශ්‍රී ලංකා පරමාණුක බලශක්ති මණ්ඩලය ඒකාබද්ධව පැවැත්වෙන මෙම සමුළුවේ මෙවර සත්කාරක දායකත්වය දරනුයේ ශ්‍රී ලංකාවයි.

මෙම සමුළුවේදී, න්‍යෂ්ටික තාක්ෂණය ශ්‍රී ලංකාව ඇතුළු කලාපයේ අනෙකුත් රටවල් තුල ප්‍රචලිත කිරීම අරමුණු කර ක්‍රියාත්මක වන කලාපීය සහයෝගීතා ගිවිසුමට අදාල උපායමාර්ගික සැලසුම්කරණය සහ ප්‍රතිපත්ති කලමණාකරණය යන විෂයන් කෙරෙහි ප්‍රධාන වශයෙන් අවධානය යොමු කෙරේ.

මෙම සමාරම්භක උත්සව අවස්ථාවේදී මාධ්‍ය විසින් නැගූ ප්‍රශ්න වලට කරුණානායක මහතා විසින් පිළිතුරු ලබාදෙමින් මෙසේ කියා සිටියේය.

“විදුලි ගැටළුව අප්‍රේල් මාසේ මැද වෙද්දි නිරාකරණය කරලා ස්ථිරසාර විසදුම් ලබාදෙනවා. 2014 වර්ෂයේ සිට කිසිදු ජනනය කිරීමක් සිදුවෙලා නැහැ. විදුලි ඉල්ලුම 7% – 8% ප්‍රමාණයකින් වැඩි වෙද්දි, සැපයුමක් නැති වෙද්දි, එතන ඉබේම ප්‍රශ්න ඇති වෙනවා. මේ සදහා විසදුම් ලබානොදීමේ පාපකර්මය තමයි අද අපට ගෙවන්න සිදුවෙලා තිබෙන්නේ. අපි අතීතයට දොස් කියලා වැඩක් වෙන්නේ නැහැ. මේ ගැටළුවට ස්ථිරසාර විසදුම් ලබාදීලා, අනාගතේ විදුලිබල ක්ෂේත්‍රයේ මෙවැනි ගැටළු ඇති නොවන ආකාරයට කටයුතු කරන්නයි ඕන.

නොයෙක් අය නොයෙක් දේවල් කිව්වට අපි මේ විදුලිබල ගැටළුවට ස්ථිරසාර විසදුමක් ලබාදෙනවා ඉතාමත් කෙටි කාලයකින්. මේ ඇතිවී තිබෙන තත්ත්වය මත ඇතිවන අපහසුතාව සම්බන්ධයෙන් පිළිබදව මම ජනතාවට කණගාටුව ප්‍රකාශ කරනවා. තව සුළු කාලයකින් මෙවැනි ගැටළු යළිත් කවදාවත් ඇති නොවන ආකාරයේ සැලසුම් සහගත වැඩපිළිවෙලකට අපි අවතීර්ණ වෙනවා “යැයි පැවසීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *