මාලිංගට IPL යන්න අවසර

(කොළඹ, ලංකාපුවත්) – මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් (IPL) විස්සයි 20 ක්‍රිකට් තරගාවලියට සහභාගි වීම සඳහා ශ්‍රී ලංකා එක්දින සහ විස්සයි20 පිලේ නායක වේග පන්දු යවන ක්‍රීඩක ලසිත් මාලිංගට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය අවසර දී තිබේ.

ශ්‍රී ලංකාවේදී ලබන මස 04 වැනිදා ආරම්භ වන අන්තර් පළාත් එක්දින තරගාවලියට ජාතික කණ්ඩායම නියෝජනය කරන සියලු ක්‍රීඩකයන් සහභාගි වීම ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය අනිවාර්ය කිරීමත් සමඟ මාලිංගට අයි.පී.එල්. තරග හයක් අහිමිවීමේ අවදානමක් ඇති විය.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ උසස් නිලධාරියකු පැවසුවේ ඉල්ලීම් කීපයක් පිළිබඳව අවධානය යොමු කරමින් මෙම තීරණයට එළඹි බවයි.

“මාලිංග සහභාගි කරනවන ලෙස ඉන්දියවෙනුත් අපෙන් ඉල්ලීමක් කර තිබුණා. ඒ වගේම අපි බැලුවා අයි.පී.එල්. තරගාවලියේ හොඳ තරගකාරිත්වයක් තියෙනවා. ඒ නිසා ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවට පාඩුවක් වෙන්නේ නෑ” යැයි එම නිලධාරියා වැඩි දුරටත් පැවසීය.

මුම්බායි ඉන්දියන්ස් පිල මාලිංගව ඉන්දීය රුපියල් කෝටි දෙකකට ක්‍රීඩක වෙන්දේසියේදී මිලදී ගත්තේය. දකුණු අප්‍රිකාවට එරෙහිව අවසන් විස්සයි20 තරගය හේතුවෙන් මාලිංගට මුම්බායි පිලේ පළමු තරගය අහිමිවිය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *