අගමැති රාජ්‍ය අංශයෙන් ඉල්ලීමක් කරයි

(කොළඹ, ලංකාපුවත්) –උද්ගතව ඇති විදුලිබල අර්බුදය නිමවනතුරු රජයේ කාර්යාලවල අරපිරිමැස්මෙන් විදුලිය පරිභෝජනය කිරීමට පියවර ගන්නා ලෙස ශ්‍රී ලංකා පරිපාලන සේවා නිලධාරීන්ගෙන් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ (28) ඉල්ලීමක් කළේය.

අත­්‍යවශ්‍ය කාර්යයන් සඳහා පමණක් විදුලි බලය පාවිච්චි කරන ලෙසත්, හැකි සෑම අවස්ථාවකම ජාතික විදුලිබල පද්ධතියෙන් විදුලිය ලබා ගැනීම තාවකාලිකව නතර කර, රාජ්‍ය ආයතන සතු විදුලි ජනක යන්ත්‍ර මගින් විදුලිය ලබාගැනීමට පියවර ගන්නා ලෙසත් වික්‍රමසිංහ මහතා ඉල්ලා සිටියේය.

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් නෙළුම් පොකුණ පරිශ්‍රයේ ඊයේ (28) පැවැති ශ්‍රී ලංකා පරිපාලන සේවා සංගමයේ වාර්ෂික සම්මේලනයට එක් වෙමින් මේ බව සඳහන් කළ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා, විදුලි අර්බුදය සම්බන්ධව ගතයුතු පියවර සොයා බැලීමට ජනාධිපතිතුමාගේ උපදෙස් පරිදි අමාත්‍ය කමිටුවක් පත්කර තිබෙන බවත්, එම කමිටුවේ වාර්තාව ඉදිරියේ දී කැබිනට් මණ්ඩලයට සහ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බවත් පැවසීය.

විදුලිබල අර්බුදය නිමා වන තුරු අරලියග මන්දිරයට ජාතික පද්ධතියෙන් විදුලිය ලබා නොගෙන විදුලි ජනක යන්ත්‍ර මගින් විදුලිය ලබා ගැනීමට පියවර ගෙන තිබෙන බවද, රනිල් වික්‍රමසිංහ මහතා මෙහිදි වැඩිදුරටත් සඳහන් කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *