අත්අඩංගුවට ගත් මත්ද්‍රව්‍ය තොග ප්‍රසිද්ධියේ විනාශ කිරීම අද

(කොළඹ, ලංකාපුවත්) – ශ්‍රී ලංකා ආරක්ෂක අංශ විසින් අත්අඩංගුවට ගත්, අධිකරණ ක්‍රියාවලිය අවසන් කළ නීතිවිරෝධී මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 765කට අධික ප්‍රමාණයක් ප්‍රසිද්ධියේ විනාශ කිරීම අද (01) පෙරවරුවේ කැලණිය මගුරුවෙල පිහිටි සුරවීර ගබඩා සංකීර්ණයේදී සිදුකෙරේ.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ නියමයෙන් මේ සඳහා පියවරගෙන තිබෙන අතර එම අවස්ථාව දැක බලා ගැනීමට ජනාධිපතිතුමා ද එක්වීමට නියමිත ය. එමෙන්ම එම අවස්ථාව සියලු මාධ්‍යවලට ද විවෘත වේ. පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ මූලිකත්වයෙන් අන්තර්ජාතික ප්‍රමිතීන්ට අනුව මෙම විනාශ කිරීම සිදු කෙරෙයි.

පොලිසිය මඟින් අත්අඩංගුවට ගන්නා මත්ද්‍රව්‍ය සඳහා කුමක් සිදුවන්නේ ද යන්න ජනතාව තුළ ඇති ගැටලුවට විසඳුමක් ලෙස ජනාධිපතිතුමාගේ උපදෙස් පරිදි මෙම වැඩසටහන ක්‍රියාවට නංවා තිබෙන අතර මේ ආකාරයට පසුගිය වසරේ ජනවාරි 15 වැනිදා කොකේන් නැමැති මත්කුඩු කිලෝග්‍රෑම් 926ක් ප්‍රසිද්ධියේ විනාශ කරන ලදී.

එසේ විනාශ කරනු ලැබුවේ 2016 වසරේ දෙසැම්බර් 09 වැනිදා කොළඹ වරායට පැමිණි නෞකාවකින් සොයාගත් මත්ද්‍රව්‍ය තොගයකි. හෙට ප්‍රසිද්ධියේ විනාශ කරනු ලබන්නේ මෙරට තුළදී අත්අඩංගුවට ගත් මත්කුඩු බව පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය සඳහන් කරයි.

එමෙන්ම මෙම අප්‍රේල් 03 වනදායින් පසු නීතිවිරෝධී මත්ද්‍රව්‍යවලට අදාළ වැටලීම් තවදුරටත් ඉහළ නංවමින් මත්ද්‍රව්‍ය මෙරටින් තුරන් කිරීමේ වැඩපිළිවෙළ තවත් වේගවත්ව ඉදිරියට ක්‍රියාත්මක කිරීමට ජනාධිපතිතුමාගේ උපදෙස් පරිදි පියවර ගෙන තිබේ.

එම විනාශ කිරීම අධීක්ෂණය කිරීමට අධිකරණ විනිසුරුවරුන්, රජයේ රස පරික්ෂක දෙපාර්තමේන්තුවේ සහ නීතිපති දෙපාර්තමේන්තුවේ නිලධාරිහු ද සහභාගිවෙති.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *