වසර 4ට 36,995කට ද්විත්ව පුරවැසි වරම්

(කොළඹ, ලංකාපුවත්) – විදෙස්ගත ශ්‍රී ලාංකිකයන් 915 දෙනෙකුට ද්විත්ව පුරවැසි භාවය ලබා දීමට අභ්‍යන්තර හා ස්වදේශ කටයුතු අමාත්‍යංශය පෙරේදා (30) පියවර ගත්තේය.

ද්විත්ව පුරවැසි සහතික පත් ප්‍රදානය කිරීම අභ්‍යන්තර හා ස්වදේශ කටයුතු සහ පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය වජිර අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් බත්තරමුල්ල “සුහුරුපාය” ශ්‍රවණාගාරයේ දී සිදුකෙරිණි.

ඇමෙරිකා එක්සත් ජනපදය, එක්සත් රාජධානිය, කැනඩාව, ප්‍රංශය, ඔස්ට්‍රේලියාව, ස්විස්ටර්ලන්තය, ඩෙන්මාර්කය, නවසීලන්තය, ස්වීඩනය ඇතුළු රටවල් කිහිපයක පුරවැසිභාවය ලබා සිටින ශ්‍රීලාංකිකයන්ට මෙම ද්විත්ව පුරවැසිභාවය හිමිව තිබේ.

2015 මාර්තු 23 වැනි දා සිට මේ දක්වා ද්විත්ව පුරවැසිභාවය ලබාදුන් පුද්ගලයින් සංඛ්‍යාව 36,995කි. ඒ අනුව පෙරේදා ද්විත්ව පුරවැසි භාවය ලැබූ පුද්ගලයන් 915 දෙනාත් සමඟ එම තත්ත්වය ලැබූ සමස්ත සංඛ්‍යාව 36,985 කි.

අමාත්‍ය වජිර අබේවර්ධන මහතා මෙහිදී කියා සිටියේ විදේශිකයකුට ඇමෙරිකන් ඩොලර් ලක්ෂ තුනක තැන්පතුවක් ඉදිරිපත් කළ විට ශ්‍රී ලංකාවේ වසර පහක වීසා ලබාගැනීමටත්, ඇමෙරිකන් ඩොලර් ලක්ෂ පහක තැන්පතුවක් ඉදිරිපත් කරන්නේ නම් වසර 10කට වීසා ලබාගැනීමටත් අවස්ථාව ලබා දෙන ආකාරයේ අමාත්‍ය මණ්ඩල යෝජනාවක් ඉදිරිපත් කර තිබෙන බවයි. එමගින් වැඩිපුර විදේශිකයන් මේ රටේ පදිංචිය සඳහා ගෙන්වාගැනීමට බලාපොරොත්තු වන බව ද අමාත්‍යවරයා පැවසීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *