ජාතික සංහිඳියා අලුත් අවුරුදු උත්සවය යාපනයේදී

(කොළඹ, ලංකාපුවත්) – ජාතිය, ආගම, තරාතිරම කුමක් වුවද සංස්කෘතික විවිධත්වය පිළිගනිමින්, අගයමින්, සියල්ලන් සමඟ සතුටින්, සාමයෙන්, සංහිඳියාවෙන් යුතුව දිවි ගෙවීමට මෙම අලුත් අවුරුද්ද නව ඇරඹුමක් කරගනිමුයි යන අධිෂ්ධානයෙන් යුතුව ජාතික සමගිය හා සංහිඳියා කාර්යාංශය ලබන අඟහරුවාදා(09) දවස පුරා යාපනය දුරෛයප්පා ක්‍රීඩාංගනයේදී “සමගි අවුරුදු උදානය – 2019” නමින් ජාතික සංහිඳියා අලුත් අවුරුදු උත්සවය පැවැත්වීමට කටයුතු සංවිධාන කර ඇත.

ජාතික සමගිය හා සංහිඳියා කාර්යාංශය , ජාතික ඒකාබද්ධතා, රාජ්‍ය භාෂා සමාජ ප්‍රගති හා හින්දු ආගමික කටයුතු අමාත්‍යාංශය සහ යාපනය දිස්ත්‍රික් ලේකම් කාර්යාලය ඒකාබද්ධව සංවිධාන කර ඇති මෙම ජාතික සංහිඳියා අවුරුදු උත්සවයේ දී සිංහල හා දෙමළ අලුත් අවුරුදු චාරිත්‍ර වාරිත්‍ර හා අවුරුදු ක්‍රීඩා පැවැත්වීමට කටයුතු සුදානම් කර තිබේ.

මෙහි ප්‍රධාන ආරධිත අමුත්තන් ලෙස ජාතික සමගිය හා සංහිඳියා කාර්යාංශයේ සභාපතිනී හිටපු ජනධිපතිනිය චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය හා ජාතික ඒකාබද්ධතා, රාජ්‍ය භාෂා. සමාජ ප්‍රගති හා හින්දු ආගමික කටයුතු අමාත්‍ය මනෝ ගනේශන් මහතා සහභාගීවීමට නියමිතය.

ජාතික සමගිය හා සංහිඳියා කාර්යංශය විසින් පාසල් සිසුන් අතර සහජීවනය ගොඩනැඟීමේ අරමුණින් අන්තර් ආගමික හා සංස්කෘතික උත්සව සාමුහිකව සැමරීමේ වැඩ සටහන් මාලාවක් දිවයින පුරා පාසැල් තුළ පළාත්, දිස්ත්‍රික් හා කොට්ඨාශ මට්ටමින් ක්‍රියාත්මක කර ඇත.

තෛයිපොන්ගල් උත්සවය, සිංහල හා දෙමළ අලුත් අවුරුදු උත්සවය, පොසොන් උත්සවය, රාමසාන් උත්සවය හා නත්තල් උත්සවය එම ව්‍යාපෘතිය යටතේ තෝරාගත් අන්තර් ආගමික සහ සංස්කෘතික උත්සවයන් වේ. මෙම වැඩසටහනේ සිංහල හා දෙමළ අලුත් අවුරුදු උත්සවය සමුහිකව සැමරීමේ ජාතික උත්සවය මෙලෙස දුරෛයප්පා ක්‍රීඩාංගනයේ දී පැවැත්වීමට කටයුතු සැළසුම් කර තිබේ.

අතීතයේ සිට පැවැත ආ ජන ක්‍රීඩාවලට මුල් තැන දෙමින්, පාසැල් සිසුන්, විශ්ව විද්‍යාල සිසුන්, රාජ්‍ය නිළධාරීන් සහ ප්‍රදේශවාසීන් ඇතුළු විශාල පිරිසකගේ සහභාගීත්වයෙන් මෙම උළෙල පැවැත්වෙන අතර එම උත්සවය සඳහා ජාති භේදයකින් තොරව සියලුදෙනා එක් වී සහෝදරත්වයෙන් එකා මෙන් ක්‍රීඩාවල නිරතවීමට අවස්ථාව සලසා ඇත. මෙම සෑම ජන ක්‍රීඩාවක් ම පැවැත්වීමේ අරමුණ වන්නේ ජනතාව අතර සාමය , සමගිය, සහජීවනය, සංහිඳියාව, කායික හා මානසික නිරෝගිකම මෙන්ම සහෝදරත්වයෙන් කණ්ඩායමක් ලෙස එකමුතුව වැඩ කිරීමේ හැකියාව ඇති කිරීම ය. මීට අමතරව ශක්තිය ,ජවය, නායකත්වය, ඉවසීම, දරා ගැනීම, සමබරතාව ආදී ගුණාංග වර්ධනය කිරීම ද මේ මගින් අපේක්‍ෂා කෙරේ.

සොබාදහම සහ මනුෂ්‍යයා අතර පවතින අන්‍යෝන්‍ය සබැඳියාව අර්ථවත් කරමින්, සුර්යයා ප්‍රමුඛ සොබා දහමට කෘතවේදිත්වය පුද කරන, ජාතික සමඟිය සහෝදරත්වය ඔප් නංවන සිංහල හා හින්දු අලුත් අවුරුද්ද නව සිතුම් පැතුම්, අධිෂ්ඨානයන් සමග ජීවිතය අලූත් කර ගන්නට ලැබෙන කදිම අවස්ථාවකි. දීර්ඝ කාලයක් යුද්ධයෙන් පිඩනයට පත් ජනතාවක් වාසය කරන මෙම පළාතේ ජිවත් වන සියලු ජන කොටස් සම්බන්ධ කර ගනිමින් මෙම උත්සවය පැවැත්වීම ජාතික සංහිදියාව වැඩි දියුණු කිරීමට රුකුලක් වන බව මෙම කාර්යංශයේ අදහසයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *