වෑල්ඩින් වෙද මහත්තයා නික්ම යයි

(කොළඹ, ලංකාපුවත්) –‘වෑල්ඩින් වෙද මහත්තයා‘ හෙවත් සිලම්බුරාලගේ මුදලිහාමිගේ මුතු බණ්ඩා වෙද මහතා පසුගිය සඳුදා (01) අභාවප්‍රාප්ත වී ඇත.

දේශිය කැඩුම් බිඳුම් ප්‍රතිකර්ම අතරිනුත් රජරට, මරදන්කඩවල “වෑල්ඩින් වෙද මහතා” විශේෂ වන්නේ අස්ථි පැළුම් සහ පිපිරීම් පැය කෙටි කාලයක් තුළ යළි ප්‍රකෘති තත්වයට පත් කිරීම හේතුවෙනි.

වෛද්‍ය තාක්ෂණය දියුණු විසි එක් වන සියවසේදීද බටහිර වෛද්‍ය විද්‍යාවට, අස්ථි සම්බන්ධ කැඩුම් බිඳුම් වලදී නිවැරදි සහ සාර්ථක ප්‍රතිකාර උපක්‍රමයන් හඳුන්වා දිමට හැකියාව ලැබී නැත. අස්ථි බිඳුමකදී ශල්‍යකර්මයක් මඟින් ඇණ හෝ යකඩ තහඩු යොදා අදාළ අස්ථි සම්බන්ධ කර ප්‍රතිකාර කළද එයින් දිගුකාලීනව රෝගියාට දැනෙන අපහසුව හෝ සාමාන්‍ය ක්‍රියාකාරකම් වල නිරතවිමේ හැකියාව ලැබෙන්නේ නැත. ඒ නිසා කැඩුම් බිඳුම් තත්වයන් වලදී පැරණි සිංහල සහ ආයුර්වේද වෙදකම් කරා යොමුවීමට මෙරට වැසියෝ පසුබට නොවෙති.

ඒ සියලු දේශිය කැඩුම් බිඳුම් ප්‍රතිකර්ම අතරිනුත් මරදන්කඩවල “වෑල්ඩින් වෙද මහතා” විශේෂ වන්නේ අස්ථි පැළුම් සහ පිපිරීම් පැය එකහමාරක් කාලයක් තුළ යළි ප්‍රකෘති තත්වයට පත් කරන නිසාය.

සිලම්බුරාලගේ මුතු බණ්ඩා වෙද මහතා පසුගිය කාල සීමාවේ දී ප්‍රතිකාර ලබාදීම සඳහා වෙද මැදුරට පැමිණියේ නැත. නිසි කලට සිය දැනුම දෙවැනි පරම්පරාවට පවරා ඔහු නිදහසේ නිවසට වී සිටියේය. ඔහුගේ පුතුන් දෙදෙනාත්, බෑනාත් දැන් ප්‍රතිකාර කරන්නේ ඔහුගෙන් ලත් කැඩුම් බිඳුම් ප්‍රතිකාර වට්ටෝරුවට අනුවමය. කිහිලිකරුවලින් පැමිණි අය ආපසු යන විට දෙපයින් ඇවිද යාමත්, කොඳු ඇට පෙළෙහි ගැටලූ ඇති අය ප‍්‍රතිකාරවලින් පසුව හොඳින් ඇවිද යාමත්, මෙම වෙද ගෙදර ආශ‍්‍රිතව දැකිය හැකි සුලභ දර්ශන බවට පත්ව තිබීම විශේෂත්වයකි.

1942 මැයි 05 දින උපන් සිලම්බුරාලගේ මුදලිහාමිගේ මුතු බණ්ඩා වෙද මහතා මිය යන විට 77වන වියෙහි පසුවිය.

ඔහුගේ අවසන් කටයුතු ඊයේ(03) සිදු කරන ලදි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *