මඩු ප්‍රදේශයේ විදුලි ගැටළු විසදීමට පියවර

(කොළඹ, ලංකාපුවත්) – මඩු දේවස්ථානයේ සහ එම ප්‍රදේශයේ විදුලි ගැටළු විසදීමට පියවර ගන්නා බව විදුලිබල,බලශක්ති සහ ව්‍යාපාර සංවර්ධන අමාත්‍ය රවී කරුණානායක මහතා පවසයි.

අමාත්‍යවරයා මේ බව කියා සිටියේ මන්නාරම මඩු දේවස්ථානයේ පවතින විදුලි ගැටළු පිළිබදව සොයාබලා කටයුතු කිරීමට පසුගියදා එහි සංචාරයක නිරත වූ අවස්ථාවේ දී ය.

මන්නාරම මඩු දේවස්ථානය භාර දේවගැති, පූජ්‍ය Peppi Sosai පියතුමන් එහිදී මෙලෙස පැවසීය.

“අපේ රට මේ වනවිට විශාල ගැටළුසහගත තත්ත්වයකයි තිබෙන්නේ. මේ වනවිට පවතින වියලි කාලගුණික තත්ත්වය හේතුවෙන් විදුලිබල උත්පාදනය සීමාවෙලා. ඒකෙන් රටේ ජනතාව විශාල අපහසුවකට පත්වෙන්නේ. මේ අවස්ථාවේ අපි සියලු දෙනාම ආගම් භේදයකින් තොරව, මෙම ගැටළුකාරී වාතාවරණය හැකි ඉක්මණින් නිමාවෙන්න කියලා ප්‍රාර්ථනය කළ යුතුයි. මේ වියළි කාලගුණික තත්ත්වය නිමාවෙලා, රටේ ජනතාවට හිඟයකින් තොරව විදුලිය සපයන්න හැකියාව ලබාදෙන්න කියලා මම දෙවියන්වහන්සේගෙන් ඉල්ලා සිටිනවා. ඒ වගේම මේ අවස්ථාවේ විදුලිය සැපයීමේ බාරධූර කාර්යය නිසි පරිදි ඉටුකිරීමට විෂයභාර අමාත්‍ය රවී කරුණානායක මැතිතුමන්ට ශක්තිය, ධෛර්‍ය්‍යය ලබාදීලා, එතුමාත් රටත් ආරක්ෂා කරදෙන්න කියලා මම දෙවියන් වහන්සේගෙන් ඉල්ලා සිටිනවා” යැයි පැවසීය.

මෙහිදී අදහස් දැක්වූ අමාත්‍ය කරුණානායක මහතා ..,

අද මේ රටේ තිබෙන මූලිකම ගැටළුව තමයි, ජනතාවට යටිතල පහසුකම් සැපයීම පිළිබදව පෙර සූදානමක්, සැලසුමක් නොතිබිම. ඒ හේතුවෙන් යම් යම් අවස්ථා වලදී ආණ්ඩුවක් වශයෙන් අප දැඩි අපහසුතාවයට පත්වනවා. මේ වකවානුව තුළදීත් රට එවැනි තත්ත්වයකට මුහුණදීලා තිබෙන්නේ. පවතින නියගය හේතුවෙන් විදුලි උත්පාදනයට දැඩි බාධාවන් එල්ල වෙලා තිබෙනවා. පසුගිය වකවානුව තුළ සැලසුම් සහගත ක්‍රියාපිළිවෙත් අනුගමනය නොකිරීම හේතුවෙන් ඇතිවූ මෙවැනි තත්ත්වයන් යළිත් ඉදිරියේදී ඇති නොවන පරිදි, දැන් අපි සැලසුම් සහගතව කටයුතු කළයුතුයි. ආගම් භේදයකින් තොරව, මේ අර්බුදකාරි අවස්ථාවේ අපි සියලු දෙනාම එක්වි පවතින වියළි කාලගුණික තත්ත්වයට පිළියම් සෙවිය යුතුයි. මම මඩු දේවස්ථානයේ පියතුමාගෙන් ඉල්ලා සිටිනවා මේ පවතින තත්ත්වය වෙනුවෙන් යාඥා කරන්න කියලා. ඒ වගේම මඩු දේවස්ථානයේ මෙන්ම ඒ අවට ප්‍රදේශයේ පවතින විදුලි අඩුපාඩු සොයා බලා, ඒවා හැකි ඉක්මණින් සම්පූර්ණ කරන්න මම අවශ්‍ය කටයුතු සිදු කරනවා යැයි පැවසිය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

14 − 5 =