රංගන ශිල්පී රයන් වැලිගම පොලිස් බාරයට

(කොළඹ, ලංකාපුවත්) –කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපලේදී, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සහ පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශය විසින් පැය 18කට අධික කාලයක් ප්‍රශ්න කිරීමෙන් පසු රංගන ශිල්පී රයන් වැන් රෝයන් වැලිගම පොලීසියට භාර දී ඇත.

මාකඳුරේ මදූෂ් සමඟ සිටියදී අත්අඩංගුවට පත්ව ඩුබායි රාජ්‍යයෙන් පිටුවහල් කළ රංගන ශිල්පී රයන් වැන් රෝයන් ඇතුළු පස් දෙනෙකු ඊයේ (04) දිවයිනට පැමිණියේය.

එහිදී රයන් ඇතුළු පිරිස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් සිය භාරයට ගත්අතර පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශය සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඔවුන්ගෙන් පැය 18කට අධික කාලයක් ප්‍රශ්න කර තිබුණි.

අනතුරුව අද(05) අළුයම රංගන ශිල්පී රයන් වැන් රෝයන් වැලිගම පොලීසිය වෙත භාරදී ඇත.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පැවසුවේ ඔහුට එරෙහිව ඇති ගංජා ළඟ තබාගැනිමේ චෝදනාවක් සම්බන්ධයෙන් සිදුකෙරරෙන පරීක්ෂණයකට අදාලව ප්‍රශ්න කිරීම සඳහා ඔහු වැලිගම පොලීසියට මෙලෙස භාරදී ඇති බවය.

එසේම රයන් වැන් රෝයන් සමඟ දිවයිනට පැමිණි අනෙක් පුද්ගලයින් සිව් දෙනාගෙන් මේ වන විටත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිළධාරීන් කටුනායක ගුවන් තොටුපලේ රඳවාගෙන ප්‍රශ්න කිරීම් සිදු කරන බව වාර්තා වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *