සිනමාවේ ස්වර්ණමය යුගය යළි ඇති තිරීමට ඇමති සජිත් සූදානම්

(කොළඹ, ලංකාපුවත්) – පරිහානියට පත්වෙමින් තිබෙන දේශීය සිනමා කර්මාන්තය වැඩි දියුණු කර ශක්තිමත් ස්වාධීන සිනමා කර්මාන්තයක් ලෙස ඉහළට ඔසවා තැබීම සඳහා ඉදිරියේදී වැදගත් තීන්දු තීරණ රැසක් තමන් ගන්නා බව නිවාස, ඉදිකිරීම් හා සංස්කෘතික කටයුතු අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

බොහෝ කලක සිට දේශීය සිනමා ක්ෂේත්‍රය දේශපාලනීකරණයට ලක්ව තිබූ බවත්, දේශීය සිනමාව දේශපාලනීකරණයෙන් සහමුලින්ම නිදහස් කර 70,80 දශකවල පැවති සිනමාවේ ස්වර්ණමය යුගය නැවත නිර්මාණය කිරීමට කටයුතු කරන බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.

පසුගිය කාලයේදී චිත්‍රපට සංරක්ෂනාගාරයක් සහ සිනමා අධ්‍යයන ආයතනයක් ස්ථාපනය කිරීම සඳහා රුපියල් ලක්ෂ 1,000 ක ප්‍රතිපාදන මහා භාණ්ඩාගාරයෙන් ලබා ගෙන අදාල ව්‍යාපෘතීන් ආරම්භනොකළ නිසා එම මුදල් මහා භාණ්ඩාගාරයට නැවත යාම අපරාධයක් බව පෙන්වා දුන් අමාත්‍යවරයා, “අහසින් වැටෙන එක දිය බිදක්වත් ප්‍රයෝජනයට නොගෙන මුහුදට යාමට ඉඩ නොදෙන”ලෙස මහ පරාක්‍රමබාහු රජතුමා ප්‍රකාශ කළ පරිදි අයවැය මගින් වෙන් කෙරෙන එක සතයක්වත් රටේත්, ජනතාවගේත් සංවර්ධනයට නොයොදවා මහා භාණ්ඩාගාරයට යාමට ඉඩ නොදෙන ලෙස තමන් නිළධාරීන්ගෙන් ඉල්ලා සිටින බවද මෙහිදී වැඩිදුරටත්පැවසීය.

අමාත්‍යවරයා මේ බව කියා සිටියේ පළමු“ජාතික සිනමා දින”සැමරුම් උළෙලට අද (05) සහභාගි වෙමිනි. මෙම සැමරුම් උළෙල ජාතික චිත්‍රපට සංස්ථාවේ පරිශ්‍රයේදී පැවත්විණි. දේශීය සිනමාව වෙනුවෙන් ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් ශ්‍රීමතාණන් සිදුකළ අමිල සේවය අගයමින් එතුමන්ගේ 100 වන ඡන්ම දිනය යෙදෙන අප්‍රේල් මස 05 වනදා “ජාතික සිනමා දිනය” ලෙස මෙහිදී ප්‍රකාශයට පත් කෙරිණි.

මෙම සැමරුම් උළෙලට සමගාමීව සිනපති ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් අනුස්මරණ කෞතුකාගාරය සහ පුස්තකාලය ඉදිකිරීම සඳහා මුල්ගල තැබීමද අමාත්‍යවරයා අතින් අද දින සිදු කෙරිණි. මේ සඳහා නිවාස, ඉදිකිරීම් හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය සහ ජාතික චිත්‍රපට සංස්ථාව එක්ව වැය කරන මුදල රුපියල් ලක්ෂ 150 කි. මාස 3 ක් ඇතුළත මෙහි ඉදිකිරීම් කටයුතු නිම කිරීමට නියමිතය.

අප්‍රේල් මස 05 වනදා “ජාතික සිනමා දිනය” ලෙස ප්‍රකාශයට පත් කිරීම පිළිබඳ ගැසට් පත්‍රය අමාත්‍යවරයා විසින් සුමිත්‍රා පිරීස් මැතිණියට ප්‍රදානය කිරීම සහ ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් මැතිතුමා පිළිබඳව අජිත් ගලප්පත්ති මහතා විසින් රචිත පර්යේෂණ ග්‍රන්ථ ද්විත්වය අමාත්‍යවරයා වෙත පිළිගැන්වීමද මෙහිදී සිදු විය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *