මත්-මිනිස් ජාවාරම් මඬින්න ඉන්දියා-ශ්‍රී ලංකා සහයෝගිතා සැලැස්මක්

(කොළඹ, ලංකාපුවත්) – නීති විරෝධී මත්ද්‍රව්‍ය ජාවාරම සහ මිනිස් සංක්‍රමණ ජාවාරම මැඬලීමේ දී ඉන්දියාව සහ ශ්‍රී ලංකාව නව සහයෝගිතා වැඩපිළිවෙළක් ඔස්සේ කටයුතු කිරීමට එකඟතාව පළ කෙරේ.

ශ්‍රී ලංකාවට පැමිණ සිටින ඉන්දීය ආරක්ෂක ලේකම් සංජේ මිත්‍රා මහතා ඊයේ (08) පෙරවරුවේ ජනාධිපති නිල නිවසේ දී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා හමු වූ අවස්ථාවේ දී මේ පිළිබඳ සාකච්ඡාවට ලක් කෙරිණි.

කලාපීය ආරක්ෂාව වෙනුවෙන් නීතිවිරෝධි මත්ද්‍රව්‍ය ජාවාරම සහ මිනිස් ජාවාරම මැඬලීමේ දී ඉන්දු ශ්‍රී ලංකා සහයෝගිතාව පුළුල් අවබෝධයකින් සහ එකඟතාවකින් කටයුතු කිරීම පිළිබඳ මෙහි දී අවධානය යොමු විය.

එමෙන්ම ශ්‍රී ලාංකීය ආරක්ෂක හමුදාවන් සඳහා, ඉන්දීය රජය ලබාදෙන පුහුණු අවස්ථා පිළිබඳ සිය ස්තූතිය පළ කළ ජනාධිපතිවරයා එම පුහුණු අවස්ථා තවදුරටත් ඉහළ නංවා ගැනීමට සහාය වන ලෙස කළ ඉල්ලීම පිළිබඳ ද ඉන්දීය ආරක්ෂක ලේකම්වරයාගේ අවධානය යොමු කෙරිණි.

එමෙන්ම ආරක්ෂක කටයුතුවල දී දෙරට අතර සහයෝගීතාව තවදුරටත් ශක්තිමත් කර ගැනීමටත් එහිදී නිරන්තරයෙන් අදහස් හුවමාරුකර ගැනීම පිළිබඳ සාකච්ඡා විය.

මෙහි දී ඇතිවූ එකඟතාවන් ඉදිරියට ක්‍රියාත්මක කිරීම පිළිබඳ දෙරටේ ආරක්ෂක ලේකම්වරු එක්ව සාකච්ඡා කිරීමට ද තීරණය කෙරිණි.

ජනාධිපති ලේකම් උදය ආර්. සෙනෙවිරත්න, ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු, ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් තරංජිත් සින්ග් සන්දු යන මහත්වරුන් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *