අලුත් අවුරුද්දේ කෑම රස කරගන්න දේශීය කුළු බඩු යොදා ගන්නැයි ඉල්ලීමක්

(කොළඹ, ලංකාපුවත්) – උදාවන අළුත් අවුරුදු සමයේ ආහාර රස ගැන්විම සදහා කෘත්‍රිම රසකාරක භාවිතයෙන් වැලකී දේශීය නැවුම් කුළුබඩුවලින් සකස් කරන ලද රසකාරක භාවිතයට ගන්නා ලෙස අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය ඒ.පී. හීන්කෙන්ද මහතා නිවේදනයක් නිකුත් කරමින් ජනතාවගෙන් ඉල්ලා සිටියි.

අළුත් අවුරුදු සමයේදී රට තුළ කෘත්‍රිම රසකාරක භාවිතය ඉහළ යන අතර එය ජනතාවගේ සෞඛ්‍යයට විශාල තර්ජනයක් වන බවද අධ්‍යක්ෂ ජනරාල්වරයා සඳහන් කරයි.

අතීතයේ සිට පැවත එන දේශීය ආහාර සංස්කෘතිය තුළ අපගේ මුතුන් මිත්තන් ආහාර කල්තබා ගැනීමටත්, ආහාර රස කර ගැනීමටත්, ඖෂධ හා සුවද කාරක ලෙසටත් දේශීය කුළුබඩු යොදාගත් බව ආචාර්ය ඒ.පි. හීන්කෙන්ද මහතා ප්‍රකාශ කළේය.

අළුත් අවුරුද්ද උදාවන විට එදා අපේ සාම්ප්‍රදායික ගෘහණිය කල්වේලා ඇතිව මුළුතැන් ගෙට අවශ්‍ය කුළුබඩු සකස් කරගත් අතර එය පවුලේ නීරෝගීභාවයට මහත් රුකුලක් විය.

එබැවින් එම පාරම්පරික දේශීය කුළුබඩු සංස්කෘතිය නැවතත් දොරට වඩම්මවා ගත යුතු බවද ආචාර්ය හීන්කෙන්ද මහතා පැවසීය.

කෘත්‍රිම රසකාරක භාවිත කිරීම තුළින් දියවැඩියාව, පිළිකා ඇතුළු විවිධාකාර වු බෝ නොවන රෝගාබාධ වැළදීමේ වැඩි ප්‍රවනතාවක් තිබෙන බවට වර්තමානයේ විවිධ පර්යේෂණ මගින් සොයාගෙන තිබේ.

පාරම්පරික දේශීය ආහාර සංස්කෘතියෙන් ඈත්වීම මෙම තත්ත්වය තව දුරටත් වර්ධනය වීමට බලපා ඇත. ස්වභාවික කුළුබඩු යොදා සැකසූ අපගේ සාම්ප්‍රදායික ආහාර සංස්කෘතියට හුරුවීමෙන් මෙම තත්ත්වයන්ගෙන් වැලකීමේ හැකියාව තිබෙන බවද අධ්‍යක්ෂ ජනරාල්වරයා තව දුරටත් සඳහන් කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *