BOC තුරුණු දිරියෙන් උතුරු මැද පළාත තුළ ඉහළ ප්‍ර‍ගතියක්

(කොළඹ, ලංකාපුවත්) – එන්ටර්ප්‍ර‍යිස් ශ්‍රී ලංකා වැඩසටහන යටතේ ක්‍රියාත්මක වන ලංකා බැංකුවේ තුරුණු දිරිය ණය යෝජනා ක්‍රමයේ ව්‍යවසායක ණය ලබාදීම් තුළින්උතුරු මැද පළාත තුළ පසුගිය වරට වඩා ඉහළ වර්ධනයක් ලබාගෙන ඇත.

මෙහි පළමු ප්‍ර‍ගති සමාලෝචන රැස්වීම 2018 අගෝස්තු මස 31 වැනි දා පැවැත්වුණු අතර එවිට මුළු පළාතෙහිම 08ක් ලෙස තිබුණු ව්‍යවසායක ණය සංඛ්‍යාව මේ වන විට අනුරාධපුර දිස්ත්‍රික්කයෙන් 39ක් සහ පොළොන්නරුව දිස්ත්‍රික්කයෙන් 08ක් ලෙස ව්‍යවසායකයින් 47 දෙනෙකු අතරේ බෙදා දීමට සමත් වී ඇත.

පළාත තුළ ලබාදුන් සමස්ත ණය වටිනාකම රුපියල් මිලියන 18කට අධිකය. ණය යෝජනා ක්‍ර‍මය සම්බන්ධයෙන් පසුගිය 05වැනි දා අනුරාධපුර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ දී පැවැත් වූ ප්‍ර‍ගති සමාලෝචන රැස්වීමේ දී මෙම තොරතුරු අනාවරණය විය.

ණය යෝජනා ක්‍ර‍මය ප්‍රාදේශීයව සම්බන්ධීකරණය කරන නිලධාරීන් සහ එයට සම්බන්ධ සියලු කොටස්හි නියෝජිතයන් සම්බන්ධ කරගනිමින් සහ ණය යෝජනා ක්‍ර‍මයේ වර්තමාන ප්‍ර‍ගතිය පිළිබදව මෙන්ම ව්‍යවසායකයින් සම්බන්ධ කරගැනීමේ දී මුහුණ පාන විවිධ ගැටලු ආදිය පිළිබදවත් මෙහි දී සාකච්ඡා කළ අතර බොහෝ ගැටලුවලට විසදුම් සදහා එවෙලෙහිම අදාළ පාර්ශව සම්බන්ධ කරදෙන ලදී.

මෙම ප්‍ර‍ගති සමාලෝචන රැස්වීමේ මුලසුන අග්‍රාමාත්‍ය ජ්‍යෙෂ්ඨ උපදේශක චරිත රත්වත්ත මහතා විසින් හෙබ වු අතර අනුරාධපුර දිස්ත්‍රික්කයේ අතිරේක දිස්ත්‍රික් ලේකම් කේ.ජී කීර්ති ගමගේ මහතා ඇතුලු දිස්ත්‍රික් ලේකම් කාර්යාල නිලධාරීන් සහ අග්‍රාමාත්‍ය කාර්යාලයේ ප්‍ර‍තිපත්ති සංවර්ධන කාර්යාලය, මධ්‍යම වැඩසටහන්කළමනාකරණ ඒකකය, ජාතික තරුණසේවා සභාව, ජාතික ආධුනිකත්ව හා කාර්මික පුහුණු කිරීමේ අධිකාරිය (NAITA), කුඩා ව්‍යාපාර සංවර්ධන අංශය, උතුරු මැද පළාත් සභාව ආදී ආයතනයන්හි නියෝජිතයෝ රැසක් මේ සදහා සහභාගී වූහ.

තුරුණු දිරිය ණය යෝජනා ක්‍රමය රටේ තරුණ ව්‍යවසායකයින් සවිබල ගැන්වීම අරමුණ කරගෙන ලංකා බැංකුව සහ අග්‍රාමාත්‍ය කාර්යාලයේ ප්‍ර‍තිපත්ති සංවර්ධන කාර්යාලය විසින් ක්‍රියාත්මක කරනු ලබන අතර එමගින් වයස 40ට අඩු, උපාධියක් හෝ පිළිගත් වෘත්තීය නිපුණතා සහතිකයක් සහිත, වසර 03 කට නොඅඩු කාලයක් ව්‍යාපාරයේ නියැලි සිටින, කුඩා ව්‍යාපාර සංවර්ධන අංශය මගින් අනුමත කළ ව්‍යාපාර සැලසුමක් සහිත තරුණ ව්‍යවසායකයින් උදෙසා සුරැකුම්/ ඇපකරුවන් රහිතව හෝ ලිහිල් ඇප සහිතව, අඩු පොළියක් යටතේ ණය පහසුකම් ලබා දෙයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *