වියළි කාලගුණයෙන් තුන් ලක්ෂ විසිඑක් දහසකට පීඩා

(කොළඹ, ලංකාපුවත්) – දිවයින පුරා පවතින දැඩි වියළි කාලගුණය හේතුවෙන් පුද්ගලයන් තුන්ලක්ෂ විසිඑක් දහසකට අධික පිරිසක් පීඩාවට පත්ව සිටි.

මෙම පිරිස පවුල් හැත්තෑපන්දහස් හාරසිය විසිනවයකට අයත් බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සදහන් කරනු ලැබේ.

වියළි කාලගුණයෙන් වැඩිම බලපෑම් එල්ලවී ඇත්තේ උතුරු පළාතටය. ඩෙල්ෆ්, කයිට්ස් කරෙයිනගර් ඇතුළු උතුරේ ප්‍රදේශ රැසක පවුල් දසදහස් එකසියදහයක සාමාජික සාමාජිකාවන් මෙයින් පීඩාවට පත්ව සිටි. කළුතර දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයකම මිරිදියට මුහුදු ජලය මිශ්‍රවීමෙන් සැළකිය යුතු පිරිසක් පීඩාවට පත්ව ඇත.

මධ්‍යම කදුකරයේ විදුලි බලාගාර ආශ්‍රිත ජලාශවල ජල මට්ටම සැලකිය යුතු අයුරින් පහත බැස තිබේ.

ඒ අනුව කොත්මලේ ජලාශයේ සක්‍රීය ජල ධාරිතාව සමස්ත ජල ධාරිතාවෙන් 28% ක් වන අතර වික්ටෝරියා ජලාශයේ එම ජල ධාරිතාව ප්‍රතිශතයක් ලෙස 36% කි. ලබන 15 වනදා දක්වා සූර්යා ශ්‍රී ලංකාව ආශ්‍රිත අක්ෂාංශවලට සෘජුව ගමන් කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සදහන් කරයි.

කෙසේ වුවද මේ දිනවල සිදුකරන කඩින් කඩ විදුලි කප්පාදුව අවසන් කරන බවද අමාත්‍ය රවී කරුණානායක මහතා පවසයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

19 − 9 =