සෑම මැතිවරණ කොට්ඨාසයකම මාර්ග සංවර්ධනයට මිලියන 80ක්

(කොළඹ, ලංකාපුවත්) – මාර්ග සංවර්ධනය සඳහා දිවයිනේ සෑම මැතිවරණ කොට්ඨාසයකටම රුපියල් මිලියන 80 බැගින් ලබා දෙන බව මහාමාර්ග හා මාර්ග සංවර්ධන සහ ඛනිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍ය කබීර් හෂීම් මහතා ප්‍රකාශ කරයි.

තම සංකල්පයකට අනුව ක්‍රියාත්මක කෙරෙන ‘රන් මාවත්’ විශේෂ මාර්ග සංවර්ධන වැඩසටහන සඳහා 2019 අය-වැය යෝජනා මගින් රු.කෝටි 2000කට අධික ප්‍රතිපාදන වෙන්කර ඇති බවත්, ඒ අනුව මැයි 12 වැනි දින නිළ වශයෙන් ‘රන් මාවත්’ වැඩසටහන දීපව්‍යාප්තව දියත් කරන බවත් අමාත්‍යවරයා වැඩි දුරටත් පවසයි.

මහාමාර්ග හා මාර්ග සංවර්ධන සහ ඛනිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍ය කබීර් හෂීම් මහතා මේ බව පැවසුවේ ඊයේ (09) බත්තරමුල්ල මහාමාර්ග හා මාර්ග සංවර්ධන අමාත්‍යාංශයේ දී පැවැති ‘රන් මාවත්’ මාර්ග සංවර්ධන වැඩසටහන හඳුන්වා දීමේ මාධ්‍ය හමුවේ දීය.

එහි දී වැඩිදුරටත් අදහස් දැක් වූ අමාත්‍ය කබීර් හෂීම් මහතා- ‘දිවයිනේ සෑම මැතිවරණ කොට්ඨාසයක්ම ආවරණය වන පරිදි ‘රන්මාවත්’ වැඩසටහන ක්‍රියාත්මක කරන අතර ග්‍රාමීය ජනතාවගේ දෛනික ජන ජීවිතයට සෘජුවම බලපාන අති දුෂ්කර ග්‍රාමීය මාර්ග සංවර්ධනයට මූලිකත්වය දෙමින් ජනතාවගේ ජීවන තත්ත්වය, යටිතල පහසුකම් සංවර්ධනය තුලින් ගම හා නගරය යා කරමින් ජනතාවගේ භාණ්ඩ හා සේවා අවශ්‍යතාවන් පහසු කිරීම මෙම විශේෂ සංවර්ධන වැඩ සටහනේ පරමාර්ථයයි.

ශ්‍රී ලංකාවේ ආර්ථීක, සමාජීය, ආගමික හා සංස්කෘතික සංවර්ධනය සඳහා ප්‍රමිතිගත අභ්‍යන්තර මාර්ග පද්ධතියක් ගොඩනගා, පවත්වා ගැනීම මගින් ශ්‍රී ලාංකික පුරවැසියන්ගේ සහජීවනය නංවාලීම ‘රන් මාවත්’ සංවර්ධන වැඩසටහනේ ප්‍රමුඛ දැක්ම යි.

දැනට ජාතික මාර්ග පද්ධතිය තුල පවතින මාර්ග තදබදය අවම කිරීම තුලින් මාර්ගවල ජනතාවට ගතකිරීමට සිදුවන කාලය අවම කිරීමත්, එමගින් අපතේ යන ඉන්ධන පිරිවැය, විනාශ වන ජාතික ධනය අවම කිරීමත් සිදුවන පරිසර හානිය අවම කිරීම හා නිෂ්පාදන ඵලදායීතාව ඉහළ නැංවීමත් මෙම වැඩසටහන ක්‍රියාත්මක කිරීම මගින් බලාපොරොත්තු වන ප්‍රධානතම අරමුණයි. ඒ අනුව අධිවේගී මාර්ග කඩිනම් සංවර්ධනය, වරාය පිවිසුම් කුලුනු මත දිවෙන මාර්ගය, කැලණිය පාලම මේ වසර තුළ සම්පූර්ණ කිරීමට බලාපොරොත්තු වෙනවා. ඒ වගේම කැලණියේ සිට රාජගිරිය හරහා අතුරුගිරිය දක්වා කුලුනු මතින් දිවෙන මාර්ගට මාධ්‍යම අධිවේගී මාර්ගයට සම්බන්ධ කරන අතරම ඊට සමගාමී ප්‍රවේශ මාර්ග ද සංවර්ධනය කෙරෙනවා. විශේෂයෙන් ආගමික සිද්ධස්ථානවල ප්‍රවේශ මාර්ග, වතුකරයේ මාර්ග මෙන්ම උතුරු නැ‍ඟෙනහිර යුද්ධයෙන් හානියට පත් මාර්ග කඩිනමින් සංවර්ධනය කරනු ලබනවා.

ඒ අනුව මේ වසර අවසන් වන විට ‘රන් මාවත්’ තුළින් දීපව්‍යාප්ත වේගවත්ම සංවර්ධන වැඩසටහන ක්‍රියාත්මක කිරීමට අප බලාපොරොත්තු වෙනවා’ යැයි ද පැවැසීය. මේ අවස්ථාව සඳහා මහාමාර්ග හා මාර්ග සංවර්ධන රාජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක, මහාමාර්ග හා මාර්ග සංවර්ධන අධීක්ෂණ මන්ත්‍රීවරුන් වන එස්. එම්. මරික්කාර් සහ ලක්ෂ්මන් විජේමාන්න, අමාත්‍යාංශ ලේකම් සුනිල් හෙට්ටිආරච්චි මහතා ඇතුළු අමාත්‍යාංශ නිලධාරීහු එක් වූහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *