බ්‍රෝඩ්ලන්ඩ්ස් බලාගාරය නිසා නිවාස අහිමිවූ පවුල් සදහා රු. මිලියන 134ක්

(කොළඹ, ලංකාපුවත්) – “එදා අපි කිව්වේ මේ සිංහල හින්දු අළුත් අවුරුද්දට කළින් ඔවුන්ට ලැබියයුතු වන්දි මුදල් ලබාදීලා, වසර ගණනාවක් තිස්සේ විසදගන්න බැරිව තිබුණ ගැටළුවට විසදුම් ලබාදෙන්න කටයුතු කරනවා කියලා. ඒ පොරොන්දු වූ ආකාරයට වසර ගණනාවක් විසදුම් නැතිව තිබුණ ඒ ගැටළුව අද විසදලා, මෙවර සිංහල අලුත් අවුරුද්ද සතුටින් ගතකරන්න අපි මේ ජනතාවට අවස්ථාව සලසලා දුන්නා. අපි කිව්වොත්, ඒ කිව්වදේ කරන පක්ෂයක්. එදා මම මේ ගැටලුව විසදනවා කියලා කිව්වම ඒක සමහරුන්ට ප්‍රශ්නාර්ථයක් වුණා” යැයි විදුලිබල, බලශක්ති සහ ව්‍යාපාර සංවර්ධන අමාත්‍ය රවී කරුණානායක මහතා අවධාරණය කරයි.

අමාත්‍යවරයා මෙම අදහස් පළකළේ, ඊයේ(10) පෙරවරුවේ බ්‍රෝඩ්ලන්ඩ්ස් ජල විදුලි බලාගාරය ඉදිකිරීම හේතුවෙන් සිය වාසස්ථාන අහිමිවූ ජනතාව වෙනුවෙන් ඔවුනට හිමි වන්දි මුදල් පිරිනැමීමේ අවස්ථාවට සහභාගි වෙමිනි.

මෙහිදී පවුල් 28 ක් වෙනුවෙන් රු. මිලියන 134 ක මුදලක් වන්දි මුදල් වශයෙන් ලබාදෙන ලදී. බ්‍රෝඩ්ලන්ඩ් බලාගාරය නිසා වාසස්ථාන අහිමිවූ ජනතාව වෙනුවෙන් වසර ගණනාවක් පුරාවට වන්දි මුදල් හිමි නොවීමේ හේතුවෙන් බ්‍රෝඩ්ලන්ඩ්ස් ප්‍රදේශයේ ඇතිවූ නොසන්කාරී වාතාවරණය පිළිබදව කරුණු විමසා බැලීමට විදුලිබල, බලශක්ති සහ ව්‍යාපාර සංවර්ධන අමාත්‍ය රවී කරුණානායක මහතා එම ප්‍රදේශයට පැමිණි අවස්ථාවේදී සිංහල හින්දු අළුත් අවුරුද්දට ප්‍රථමයෙන් අදාළ වන්දි මුදල් ලබාදෙන බවට දුන් පොරොන්දුවක් ඉෂ්ඨ කරමින් මෙසේ වන්දි මුදල් ලබාදීම සිදු කෙරිණි.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍ය කරුණානායක මහතා …,

” මම මීට මාස 02 කට පෙර පැමිණි අවස්ථාවේදී මේ ප්‍රදේශයේ වැසියන් සිටියේ සිත් අමනාපයෙන්. ඔවුන් ඉල්ලුවේ අපිත් සමග කතාකරන්න දෙන්න කියලා. අපි ඒ ගැන අදාළ නිලධාරීන් එක්ක සාකච්ඡා කරලා මොවුන්ට විසදුමක් ලබාදෙන්න කටයුතු කළා. අපි මේ ගතකරන්නේ ඉතාමත් අමාරු කාලයක්. මට බාර දුන්නේ ගිනි බෝලයක් වගේ අමාතත්‍යාංශයක්. ඒ බාරදුන්නේ මෙතෙක් දුර ඉදිරි දැක්මක් නොමැතිව වැඩපිළිවෙලක් නොමැතිව තිබූ ආයතනයක්. අපි ඒකට කාටවත් දොස් කියලා වැඩක් නැහැ. ඉදිරියට ගෙනයාමයි අවශ්‍ය වන්නේ. මේ වෙද්දි අපි දින 18 ක් පමණ විදුලි කප්පාදුවක් කලා. අපි කිව්වා 11 දා උදේ ඉදලා මේ විදුලි කප්පාදුව සම්පූර්ණයෙන් නවත්වනවා කියලා. ඒක වචනයෙන් නොවෙයි ක්‍රියාවෙන් අපි ඔප්පු කරනවා. අපිට තිබුණෙ ඉල්ලුමට සරිලන සැපයුමක් නොමැති කමයි.

මෙගාවොට් 500ක 600ක පමණ හිඟයක් තිබුණේ. අපිට ඒ ප්‍රමාණය ක්ෂණිකව නිෂ්පාදනය කිරීමේ හැකියාවක් නොමැති නිසා අවම මිලක් යටතේ පුද්ගලික අංශයෙන් ලබාගත යුතු වෙනවා. ඉදිරියේදී අප කලයුතු වන්නේ මෙම විදුලි හිඟය මගහරවා ගැනීම පිණිස ස්ථිරසාර වැඩපිළිවෙලකට අවතීර්ණ වන එකයි. අවම මිලකට විදුලිය නිපදවලා, අපේ අහිංසක ජනතාවට බරක් නොවන අයුරින් අපි විදුලිය සැපයිය යුතුයි. ඒ වෙනුවෙන් ජනාධිපති, අගමැති ඇතුළු කැබිනට් මණ්ඩලයේත් සහයෝගය ලැබී තිබෙනවා. ඒ අනුව නව තාප බලාගාර 6ක් 7ක්, ගල් අගුරු බලාගාර ස්ථාපනය කිරීම සහ සුර්ය බලාගාර ගණනාවක් ඉදිකිරීම සිදු වෙනවා. මේ සෑම දෙයක්ම කිරීමට අපට අවශ්‍ය වන්නේ ජනතාවගේ විශ්වාසය දිනාගැනීමයි. 2015 ජනවාරි මාසේ අපි ජනතා වරමක් ගත්තේ ජනතාවගේ ගැටළු විසදන්නයි. යම් යම් අවස්ථාවල ඒ තත්ත්වය ජනතාව සිතූ අයුරින්ම ඉටු නොවුණත්, අද වනවිට ජනතාවට ප්‍රජාතන්ත්‍රවාදීව, බය නැතිව ජීවත්වීමේ අයිතිය ලැබිලා තිබෙනවා. අපි ඇවිත් ඉන්නේ ජනතාවට සේවය කරන්න. රට හදන්න. අදට වඩා හෙට හොඳ ජීවිතයක් ගත කරන්න පුළුවන් මාර්ගය සකසන්න. ඒ විශ්වාසය ඒ අයුරින්ම ඉෂ්ඨ කරන්න අපි බැදී සිටිනවා. අඳුරට ශාප නොකර ආලෝකය සොයා ගමන් කරමු” යැයි පැවසීය.

කැළණි ගඟ ආශ්‍රිතව පොල්පිටිය, කිතුල්ගල ප්‍රදේශයේ ඉදිවන ලක්ෂපාන සංකීර්ණයේ අවසාන ජලවිදුලි බලාගාරය වන බ්‍රෝඩ්ලන්ඩ්ස් ජල විදුලි බලාගාරයේ ඉදිකිරීම් කටයුතු 2013.07.15 දින ආරම්භ කළ අතර මේ වනවිට එහි ඉදිකිරීම් කටයුතු සාර්ථකව සිදුවේ. මෙගාවොට් 35 ක් ජාතික පද්ධතියට එක්කිරීමට නියමිත මෙම විදුලිබලාගාර ව්‍යාපෘතියෙන් වාර්ෂිකව ගිගාවොට් පැය 126ක් නිෂ්පාදනය කළ හැකිවේ. එම නිපදවන විදුලිය කි.මී. 5.3 ක් දිග ද්විත්ව රැහැන් මාර්ගයක් මගින් පොල්පිටිය බලාගාරයේ වහරු අංගනය වෙත ගෙනයාමෙන් පසු ජාතික විදුලිබල පද්ධතිය හා සම්බන්ධ වනු ඇත.

මෙම බලාගාරය ඉදිකිරීම් සදහාවන ඇස්තමේන්තුගත වියදම ඇමරිකානු ඩොලර් මිලියන 82 ක් වේ. මේ සදහා චීනයේ කර්මාන්ත හා වානිජ බැංකුව මගින් 85% ක් හා ශ්‍රී ලංකාවේ හැටන් නැෂනල් බැංකුව මගින් 15% ක මුදලක්ද වානිජ ණය වශයෙන් ලබාදෙන ලදී. ව්‍යාපෘතියේ ඉදිකිරීම් කටයුතු චීන රජයට අයත් සමාගමක් වන චයිනා නැෂනල් ඉලෙක්ට්‍රිකල් ඉංජිනියරින් සමාගම මගින් සිදුකරන අතර එහි උපදේශන හා අධීක්ෂණ කටයුතු ශ්‍රී ලංකාවේ ඉංජිනේරුමය කාර්යයන් පිළිබද මධ්‍යම උපදේන කාර්යාංශය මගින් සිදුකරනු ලබයි. මේවන විට ව්‍යාපෘතියේ ප්‍රධාන වේල්ල 91%, කෙහෙල්ගමු ඔය වේල්ල 67%, ප්‍රධාන උමග 71%, කැළඹුම් ළිද 64%, විදුලි බලාගාරය 57%, වහරුගත අංගනය 09%, වශයෙන් සමස්ත බලාගාරයේ ඉදිකිරීම් ප්‍රගතිය 61 % වශයෙන් දැක්විය හැක.

බ්‍රෝඩ්ලන්ඩ්ස් ජලවිදුලි බලාගාරය ඉදිකිරිම මගින්, වාර්ෂිකව පරිසරයට නිකුත්වන කාබන්ඩයොක්සයිඩ් වායු මෙට්‍රික්ටොන් 88,000 ප්‍රමාණයක් වළක්වාගත හැකිවන අතර එය ජාත්‍යන්තර කියෝටෝ සම්මුතිය යටතේ පිහිටුවා ඇති පිවිතුරු සංවර්ධන යාන්ත්‍රණය හා බැදුණු ලංකාවේ ප්‍රථම මහා පරිමාණ ජලවිදුලි ව්‍යාපෘතිය වීම, මෙම ව්‍යාපෘතියේ විශේෂ ලක්ෂණයකි. මෙම ව්‍යාපෘතිය අවසන්වූ පසු ජලවිදුලි කෞතුකාගාරයක් ඇතුළුව බලශක්ති උද්‍යානයක් ඉදිකිරීමට සැලසුම් කර ඇති බැවින් මෙමගින් ප්‍රදේශයේ සංචාරක ආකර්ෂණයටද සුවිශේෂී ස්ථානයක් හිමිවේයැයි අපේක්ෂා කෙරේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *