වියළි කාලගු ණයෙන් ලක්ෂ පහහමාරකට පීඩා

(කොළඹ, ලංකාපුවත්) – දිවයිනට බලපා ඇති අධික වියළි කාලගුණ තත්ත්වය හේතුවෙන් දිස්ත්‍රික්ක 21ක ජනතාව දැඩි ලෙස පීඩාවට පත්ව ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පෙන්වා දෙයි.

වියළි කාලගුණය හේතුවෙන් පවුල් 143,571කට අයත් පුද්ගලයන් 548,905 දෙනෙකු මෙ‍ෙලස පීඩාවට පත්ව තිබේ. කෑගල්ල, රත්නපුර, පුත්තලම, කුරුණෑගල, වව්නියාව, යාපනය, මන්නාරම, කිලිනොච්චිය, මුලතිව්, මාතලේ, මහනුවර, මාතර, හම්බන්තොට, ගාල්ල, ගම්පහ, කළුතර, පොළොන්නරුව, අනුරාධපුරය, අම්පාර, ත්‍රිකුණාමලය සහ මොනරාගල යන දිස්ත්‍රික්කවල ජනතාව මෙලෙස පීඩාවට පත්ව සිටින බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය කියයි.

වියළි කාලගුණය හේතුවෙන් වැඩිම පිරිසක් පීඩාවට පත්ව ඇත්තේ බස්නාහිර පළාතේ සහ උතුරු පළාතේ වන අතර බස්නාහිර පළාතේ ගම්පහ සහ කළුතර දිස්ත්‍රික්කවල පවුල් 62,792කට අයත් පුද්ගලයන් 259,580ක් පීඩාවට පත්ව තිබේ. කළුතර දිස්ත්‍රික්කයේ කළු ගඟෙහි ජල මට්ටම පහළ යෑම සහ එයට ලවණ මිශ්‍ර වීම හේතුවෙන් පවුල් 65,516කට අයත් පුද්ගලයන් 270,003 දෙනෙකු පීඩාවට පත්ව තිබේ. එසේම උතුරු පළාතේ වව්නියාව, යාපනය, කිලිනොච්චිය, මුලතිව් සහ මන්නාරම යන දිස්ත්‍රික්කයන්හි පවුල් 26,257කට අයත් පුද්ගලයන් 90,414 දෙනෙකු පීඩාවට පත්ව තිබේ.

මීට අමතරව වයඹ පළාතේ පවුල් 11,280කට අයත් 39,439ක්, මධ්‍යම පළාතේ පවුල් 13,396කට අයත් පුද්ගලයන් 50,104 දෙනෙක්, නැගෙනහිර පළාතේ පවුල් 4,841කට අයත් පුද්ගලයන් 17,260 දෙනෙක්, උතුරුමැද පළාතේ පවුල් 4,609කට අයත් පුද්ගලයන් 16,167 දෙනෙක්, සබරගමුව පළාතේ පවුල් 8,696කට අයත් පුද්ගලයන් 29,976 දෙනෙක් සහ දකුණු පළාතේ මාතර දිසත්‍රික්කයේ පවුල් 2,149කට අයත් පුද්ගලයන් 9,316 දෙනෙක් මෙලෙස පීඩාවට පත්ව සිටිති.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *