සිංහල අලුත් අවුරුදු නැකත්-චාරිත්‍ර

පරණ අවුරුද්ද සඳහා ස්නානයට
අප්‍රේල් මස 13 වැනි සෙනසුරාදා දින නුගපත් යුෂ මිශ්‍ර නානු ගා ස්නානය කොට ඉෂ්ට දේවතා අනුස්මරණයෙහි යෙදී වාසය මැනවි.

අලුත් අවුරුදු උදාව
අප්‍රේල් මස 14 වැනි ඉරිදා දින අපර භාග 02.09ට සිංහල අලුත් අවුරුද්ද උදා වෙයි.

පුණ්‍ය කාලය
අප්‍රේල් මස 14 වන ඉරිදා පූර්ව භාග 07.45 සිට එදින අපර භාග 08.33 දක්වා පුණ්‍ය කාලය බැවින් අප්‍රේල් මස 14 වන ඉරිදා දින පූර්ව භාග 07.45ට පළමුව ආහාර පාන ගෙන සියලු වැඩ අත්හැර ආගමික වතාවත්වල යෙදීම ද, පුණ්‍ය කාලයේ අපර කොටස තුළ එනම්, 14 වන ඉරිදා අපර භාග 02.09 සිට අපර භාග 08.33 දක්වා පහත දැක්වෙන අයුරින් ආහාර පිසීම, වැඩ ඇල්ලීම, ගනුදෙනු කිරීම හා ආහාර අනුභවය ආදී නැකත් චාරිත්‍ර විධි ඉටු කිරීම ද මැනවි.

ආහාර පිසීම
අප්‍රේල් මස 14 වෙනි ඉරිදා අපර භාග 02.42ට රතු සහ කහ මිශ්‍ර (තඹ පැහැති) වස්ත්‍රාභරණයෙන් සැරසී නැඟෙනහිර දිශාව බලා ලිප් බැඳ ගිනි මොළවා හකුරු මිශ්‍ර කිරිබතක් ද, තිකුළු මිශ්‍ර (ඉඟුරු, ගම්මිරිස්, තිප්පිලි යන කුළුබඩු දමා) අග්ගලා සහ කැවුම් පිළියෙල කරගැනීම මැනවි.

වැඩ ඇල්ලීම, ගනුදෙනු කිරීම හා ආහාර අනුභව
අප්‍රේල් මස 14 වෙනි ඉරිදා අපර භාග 03.54ට රතු සහ කහ මිශ්‍ර (තඹ පැහැති) වස්ත්‍රාභරණයෙන් සැරසී නැඟෙනහිර දිශාව බලා සියලු වැඩ අල්ලා ගනුදෙනු කොට ආහාර අනුභවය මැනවි.

හිසතෙල් ගෑම
අප්‍රේල් මස 17 වෙනි බදාදා දින පූර්ව භාග 07.40ට නැඟෙනහිර දිශාව බලා හිසට කොහොඹ පත් ද පයට කො‍ලොන් පත් ද තබා පලාවන් පැහැති වස්ත්‍රාභරණයෙන් සැරසී කොහොඹ පත් යුෂ මිශ්‍ර නානු ද තෙල් ද ගා ස්නානය කිරීම මැනවි.

රැකී රක්ෂා සඳහා පිටත්ව යෑම
අප්‍රේල් මස 18 වන බ්‍රහස්පතින්දා පලාවන් පැහැති වස්ත්‍රාභරණයෙන් සැරසී හකුරු සහ තල මෝරු මිශ්‍ර කිරිබතක් අනුභවකර පූර්ව භාග 04.52ට නැඟෙනහිර දිශාව බලා පිටත්ව යෑම මැනවි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *