(කොළඹ, ලංකාපුවත්) –ගිණිගත් නොට්‍රේඩම් දේවස්ථානයේ ගිණිදළු මැකීයන්නටත් මත්තෙන් දේවස්ථානය නැවත නගා සිටුවීමේ අරමුදලට සුප්‍රසිද්ධ ප්‍රංශ ව්‍යාපාරික “ප්‍රංශුවෝ හෙන්රි පිනලට්” යුරෝ මිලියන 100ක පරිත්‍යාගයක් සිදුකොට තිබේ. ඔහු සුප්‍රසිද්ධ මෙක්සිකානු නිළි “සල්මා හයැක්” ගේ ස්වාමි පුරුෂයායි.
ප්‍රංශයේ පැරිස් නුවර නොට්‍රේඩම් දේවස්ථාන යේ හදිසියේ ඇති වූ ගින්නෙන් එහි වහළය සම්පූර්ණයෙන්ම විනාශ වුවත් ජේසුතුමන් කුරුසිපත් වන අවස්ථාවේ පැළැඳි ‘ශුද්ධ වූ කටු ඔටුන්න’ තවමත් සුරැකිව පවතින බව එරට මාධ්‍ය වාර්තා කර ඇත.
ඕක් ගස් දෙදහසක් පමණ වැය කර දැවයෙන්ම නිම වූ වහළය විනාශ වූව ද දේවස්ථානයේ යට කොටස සුළු අලාභහානි සහිතව බේරා ගැනීමට ප්‍රංශ ගිනි නිවීමේ සේවාව සමත් වී තිබේ.
2013 වසරේ දී 850 වැනි සංවත්සරය සනිටුහන් කළ මෙම දේවස්ථානය ඉදි කිරීමට වසර 182ක් ගත වී ඇත. ඒ අනුව 12 වැනි සියවසේ දී ආරම්භ කළ ඉදිකිරීම් කටයුතු සම්පූර්ණ කර ඇත්තේ 13වැනි සියවසේ දීය.
එකවර බැතිමතුන් 6,000කට වැඩි පිරිසකට රැඳී සිටිය හැකි නොත්‍රදාම් දේවස්ථානය ප්‍රංශයේ හදවත ලෙස හැඳින්වේ.
නොට්‍රේඩම් දේවස්ථානය නැවත ගොඩනගන බව ප්‍රංශ ජනාධිපති එමානුවෙල් මැක්රොන් දේවස්ථානය වෙලා ගත් ගිනි දැල් ඉදිරියේ පොරොන්දු වීමත් සමගම ඒ සඳහා යුරෝ මිලියන 100ක් ප්රදානය කිරීමට ප්‍රංශ බිලියනපතියකු ප්‍රංශුවෝ හෙන්රි පිනලට් මෙලෙස ඉදිරිපත් වී තිබේ.