ලෝක නායකයන් ජගත් සංවිධාන අගමැතිට සොව පළ කරති

(කොළඹ, ලංකාපුවත්) – පාස්කු ඉරුදින ශ්‍රී ලාංකික ජනතාව ඉලක්ක කර ගනිමින් එල්ල වූ ම්ලේච්ඡ ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් රටවල් රැසක නායකයන් සහ විවිධ ජාත්‍යන්තර සංවිධාන අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා වෙත සිය බලවත් සංවේගය පළ කොට ඇත.

පසුගිය 21 වන දින එල්ල වූ ප්‍රහාරයන්ගෙන් විපතට පත් ජනතාව වෙත ඩාර්වින් නගරවාසීන් ඇතුළු සමස්ත ඕස්ට්‍රේලියානු ජනතාවගේ හෘදයාංගම සංවේගය පළ කරමින් ඕස්ට්‍රේලියාවේ ඩාර්වින් හි පුරපති කොන් ව්ට්ස්කාලස් (Mr. Kon Vatskalis) මහතා ද ශ්‍රී ලංකා අග්‍රාමාත්‍යවරයා වෙත ශෝක පණිවුඩයක් එවා ඇත.

අහිංසක ජීවිත රැසක් බිලිගනිමින්, අතිවිශාල දේපොළ හානියක් සිදුකළ දරුණු බෝම්බ ප්‍රහාරයන්ගෙන් ශ්‍රී ලාංකික ජනතාව දැඩි පීඩාවට පත්ව සිටින මේ මොහොතේ, ශ්‍රී ලංකා රජය ප්‍රමුඛ ශ්‍රී ලාංකික ප්‍රජාව සහ භුතාන රජය ඇතුළු භුතාන ජනතාව අතර පවත්නා සහෝදරත්වයේ බැඳීම තවදුරටත් තහවුරු කිරීමට කටයුතු කරන බව භුතාන අග්‍රාමාත්‍ය ආචාර්ය ලෝටේ ෂෙරින්ග් (H.E. Dr. Lotay Tshering) මහතා ශ්‍රී ලංකා අග්‍රාමාත්‍යවරයා වෙත එවූ ශෝක පණිවුඩයෙන් පවසා ඇත.

අති විශාල ජනතාවක් විපතට පමුණුවමින් එල්ල වූ අමානුෂික ත්‍රස්ත ප්‍රහාරය පිළිබඳව තමා ප්‍රමුඛ ඇෆ්ගනිස්තාන රජයේ බලවත් කනගාටුව ප්‍රකාශ කරන බව ශ්‍රී ලංකා අග්‍රාමාත්‍යවරයා වෙත පණිවුඩයක් එවමින් පවසන ඇෆ්ගනිස්තාන ඉස්ලාමීය ජනරජයේ ප්‍රධාන විධායක ආචාර්ය අබ්දුල්ලා අබ්දුල්ලා මහතා, කාලයක් පුරා මෙවැනිම ප්‍රහාරවලින් පීඩාවට පත්වෙමින් සිටින ඇෆ්ගන් ජනතාවට මෙම ශෝකාකූල අවස්ථාවේ ශ්‍රී ලාංකිකයින්ගේ හදගැස්ම ඉතා හොදින් දැනෙන බව ද සඳහන් කරයි.

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා වෙත පණිවුඩයක් එවමින් විපතට පත්වූවන් වෙත සිය ශෝකය පළ කරන ඉන්දියාවේ භාරතීය ජනතා පක්ෂයේ මහ ලේකම් රාම් මාධව් (Mr. Ram Madhav) මහතා, ශ්‍රී ලංකාව හා ඉන්දියාව වැනි ප්‍රගතිශීලි ප්‍රජාතන්ත්‍රවාදයන් සහිත බොහෝ රටවලට මහත් ව්‍යවසනයක්ව පවතින ත්‍රස්තවාදයට එරෙහිව සියලූ ශක්තීන් යොදවා සටන් කළ යුතු බව අවධාරණය කරයි.

අසල්වාසී මෙන්ම ඉතා සමීප සහෝදර රටවල් දෙකක් වන ඉන්දියාව හා ශ්‍රී ලංකාව සිය සංවර්ධන ක්‍රියාවලියේ දී සහ සාමය තහවුරු කිරීමේ ක්‍රියාවලියේ දී ද, සාර්ථකත්වයේ දී මෙන්ම අභියෝග හමුවේ ද එක්ව කටයුතු කරන්නාසේම, මෙම අභියෝගාත්මක අවස්ථාවේ ද ඉන්දීය ජනතාව නිරන්තරයෙන් ශ්‍රී ලංකාව වෙනුවෙන් පෙනී සිටින බව රාම් මාධව් මහතා තම පණිවුඩයෙන් අග්‍රාමාත්‍යතුමා වෙත දන්වා තිබේ.

ප්‍රමුඛ පෙළේ ජාත්‍යන්තර බෞද්ධ සංවිධානයක් වන ඉන්දීය මහා බෝධි සංගමය ද අප්‍රේල් 21 එල්ල වූ ම්ලේච්ඡ ත්‍රස්ත ප්‍රහාරය හෙළා දකිමින් ශ්‍රී ලංකා අග්‍රාමාත්‍යවරයා වෙත ශෝක පළ කර ඇත.

පාස්කු ඉරුදින දේව මෙහෙයන්ට සහභාගීවෙමින් සිටි අහිංසක කතෝලික ජනතාව ඉලක්ක කරගත් මෙම සාහසික ප්‍රහාරය සමස්ත මනුෂ්‍ය ප්‍රජාව වෙත එල්ල වූ ප්‍රහාරයක් බව සඳහන් කරන ඉන්දීය මහාබෝධි සංගමයේ මහලේකම් පූජ්‍ය පී. සීවලී හිමිපාණන් වහන්සේ, ලොව කිසිම ආගමක් මෙවැනි සාපරාධී ක්‍රියා අනුමත නොකරන බවත්, අන්තවාදී අදහස් දරන දුර්ජනයන් සිය පෞද්ගලික අභිලාෂයන් තකා ආගමික ඉගැන්වීම් විකෘති කරන බවත් සිය ශෝක පණිවුඩයෙන් පෙන්වා දී ඇත.

මින්හාජ් – අල් – කුරාන් ජාත්‍යන්තර සංවිධානයේ විදේශ කටයුතු පිළිබඳ අධ්‍යක්‍ෂ මුහමද් මුස්තාෆා මහතා, ශ්‍රී ලංකාවට පසුගිය ඉරුදින එල්ල වූ බිහිසුණු ත්‍රස්ත ප්‍රහාරය හෙළා දකින බවත්, ඉන් විපතට පත්වූවන් සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන් වෙනුවෙන් තම සංවිධානයේ සාතිශය සංවේගය පළ කරන බවත් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා වෙත ශෝක පණිවුඩයක් එවමින් දන්වා තිබේ.

පාස්කු ඉරුදින සැමරුම් අතර වාරයේ ක්‍රිස්තියානි දේවස්ථාන සහ ප්‍රධාන හෝටල් කිහිපයක් ඉලක්ක කරගනිමින් එල්ල කළ නින්දිත ත්‍රස්ත ප්‍රහාරය හමුවේ ජෛන විද්‍යාව පිළිබඳ ආයතනයේ සාමාජිකයින් සහ අධ්‍යක්‍ෂ මණ්ඩලය දැඩි කම්පාවට පත්වූ බව එහි සභාපති නෙමු චන්දරියා (Mr. Nemu Chandaria Obe) මහතා අග්‍රාමාත්‍යවරයා වෙත එවා ඇති ශෝක පණිවුඩයේ සඳහන් වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *