සමස්ත ආරක්ෂක පද්ධතියේ ප්‍රතිසංවිධානයක් අවශ්‍යයි – ජනපති

(කොළඹ, ලංකාපුවත්) – ඉස්ලාම් රාජ්‍ය ත්‍රස්තවාදීන්ගෙන් අලුතෙන්ම එල්ල වී ඇති තර්ජනයට මුහුණ දීමට රටේ සමස්ත ආරක්ෂක පද්ධතියේම ප්‍රතිසංවිධාන සිදු කිරීමට සිදු වී ඇතැයි රාජ්‍ය මාධ්‍ය ප්‍රධානීන්ගේ හමුව අමතමින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ඊයේ(29) පැවැසීය.

මෙහි දී ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේ රටේ ආරක්ෂක හමුදාවල විශිෂ්ට ක්‍රියාකාරිත්වය නිසා විදේශිකයන් ඇතුළු 250කට වැඩි පිරිසක් ඝාතනය කරමින් පාස්කු ඉරිදා සිදු වූ කැරැල්ලට සහභාගී වූ ප්‍රධාන පුද්ගලයන් රැසක්ම අත්අඩංගුවට ගැනීමට හැකි වූ බවයි.

මේ ප්‍රතිසංවිධාන වැඩපිළිවෙළ යටතේ ආරක්ෂක ලේකම් ලෙස හිටපු හමුදා ප්‍රධානී ජෙනරාල් ශාන්ත කෝට්ටේගොඩ සහ ආරක්ෂක අමාත්‍යාංශ උපදේශක ලෙස එන්. කේ. ඉලංගකෝන් මහත්වරු පත් කළ බව ද ජනාධිපතිවරයා මෙම අවස්ථාවේ දී වැඩිදුරටත් පවසා තිබේ.

පොලිස්පති පූජිත ජයසුන්දර වෙනුවෙන් වැඩබැලීමට ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති සී. ඩී. වික්‍රමරත්න පත්කර ඇති බව ද ජනාධිපතිවරයා වැඩිදුරටත් කීය.

‘තනතුරෙන් ඉල්ලා අස්වන ලෙස ඉල්ලා සිටියත් ජයසුන්දර මහතා තවදුරටත් තනතුරේ රැඳී සිටින බැවින් නීතිපතිවරයා සමඟ සාකච්ඡා කර ඔහු‍ගේ උපදෙස් පරිදි ජයසුන්දර අනිවාර්ය නිවාඩු යැවීමට අප තීරණය කළා’ යැයි ඔහු වැඩිදුරටත් කීය.

පාස්කු ඉරිදා කැරැල්ල ගැන ජනාධිපතිවරයාව කළින් දැනුවත් කර තිබූ බවට ‍විවිධ වෙබ් අඩවි නඟන චෝදනා ප්‍රතික්ෂේප කරමින් ඒවා අසත්‍ය බව ද ජනාධිපතිවරයා මේ අවස්ථාවේ දී කියා සිටියේය.

එසේම මේ කතාවේ නිර්මාතෘවරයා සහ ඉවත් කරනු ලැබූ පොලිස්පතිවරයා අතර සම්බන්ධයක් ඇති බව තමාට දැනගැනීමට ඇතැයි ද ජනාධිපතිවරයා වැඩිදුරටත් කීය.

‘එසේම ඉරිදා අපි ඒකාබද්ධ මෙහෙයුම් අණදෙන මූලස්ථානය (JOC) ආරම්භ කළා. එය නැඟෙනහිර පළාත සමඟ සම්බන්ධතා ඇති සියලුම පළාත් එක්ක සම්බන්ධීකරණය කරනු ඇති.’

පෞද්ගලික මාධ්‍ය මහජනතාව අතර බිය ජනක මානසිකත්වයක් ගොඩනැඟීමට කටයුතු කරන බව ද ජනාධිපතිවරයා මෙහි දී කීවේය. ‘බොහෝ අය සුරක්ෂිතතාව ඉල්ලා සිටීමට පෝලිම් ගැසී සිටියත් වඩාත් වැදගත් වන්නේ මහජනතාව වෙනුවෙන් ආරක්ෂාව සැලසීමයි’ යැයි ද ඔහු කීවේය.

‘අප කළ යුත්තේ තත්ත්වය සාමාන්‍ය තත්ත්වයට පත් කිරීම සහ මිනිසුන් අභියෝගයට මුහුණ දීමට හුරු කිරීමයි. අප හැකි තරම් ඉක්මනින් සාමාන්‍ය තත්ත්වය ස්ථාපිත කළ යුතුයි.’

ඇඳිරි නීතිය ඉවත් කිරීම මඟින් රටේ ආරක්ෂක තත්ත්වය යහපත් අතට හැරෙන බවට හොඳ සාක්ෂියක් ලැබෙන බව ද ජනාධිපතිවරයා වැඩිදුරටත් කීවේය.

මම සීඑන්එන් මාධ්‍ය කණ්ඩායමක් සමඟ සාකච්ඡාවක් පැවැත්තුවා. ඔවුන් මා වෙත ප්‍රශ්න රැසක් ම ඉදිරිපත් කළා. පාස්කු ඉරිදා කැරැල්ල හේතුවෙන් මා ඉල්ලා අස්වන්නේ නැත්තේ ඇයි දැයි ඔවුන් මගෙන් ඇසුවා.

මම ඔවුන්ට කිව්වා වොෂිංටනයේ ලෝක වෙළෙඳ මධ්‍යස්ථානයට එල්ල වූ ප්‍රහාරය නිසා අමෙරිකාවේ එවකට සිටි ජනාධිපතිවරයා ඉල්ලා අස්වූයේ නැහැ නේද කියලා. මිනිසුන්ට අවශ්‍ය වන්නේ ත්‍රස්තවාදය පොඩිපට්ටම් කර දැමීමයි කියලා.

රටේ සිටි සෑම ජනාධිපතිවරයකු යටතේම බෝම්බ පුපුරා ගියා. හිටපු ආරක්ෂක ලේකම්වරයා පවා තමන් බෝම්බයකට මුහුණ දුන් බවට පුරසාරම් දොඩවනවා .

‘මම මේ ප්‍රශ්නය තවත් ජනාධිපතිවරයකුට ඉතුරු කරන්නේ නැහැ. සමහර පුද්ගලයන්ට අවශ‍්‍ය වෙලා තියෙනවා මම යන්නේ කොයි වෙලාවෙද කියලා දැනගන්න. මම යන්නේ හරි වෙලාවටයි’ යැයි ජනාධිපතිවරයා රැස්ව සිටි මාධ්‍ය ප්‍රධානීන් හමුවේ වැඩිදුරටත් කීවේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *