සැකකටයුතු වාහන 20ක් ගැන ආරක්ෂක අංශ විමසිල්ලෙන්

(කොළඹ, ලංකාපුවත්) –පුපුරන ද්‍රව්‍ය හා සැකකටයුතු ආයුද පැටවූ වාහන 20ක් දකුණු පළාතේ සිට උතුරු පළාතට පැමිණ ඇති බවට ආරක්ෂක අංශවලට ලැබුණු තොරතුරක් මත වවුනියාවේ විශාල කලාපයක් ආවරණය වන පරිදි ස්ථිර හමුදා මාර්ග බාධක 04ක් පෙරේදා (01) සිට ස්ථාපිත කර තිබේ.

මෙම මුරපොළවල් 04 දිවා රාත්‍රී දෙකෙහිම ක්‍රියාත්මක වන අතර වවුනියාව නගරයට ඇතුළු වන සෑම වාහනයක්ම එහිදී දැඩි පරීක්ෂාවට ලක් කරනු ලැබේ.

අදාළ සැකකටයුතු වාහන 20හි අංක හා විස්තර මහජනයා සඳහාද ප්‍රදර්ශනය කර ඇති අතර ආරක්ෂක අංශ මුරපොළේදී වාහන පරීක්ෂා කරනු ලබන්නේ එම වාහන්වල විස්තර ඇතුළත් ලේඛනය සමඟ සසඳා බලමිනි.

මෙම වාහන අතර සැකසහිත යතුරුපැදි 12ක්, ත්‍රී රෝද රථයක්, වෑන් දෙකක්, බට්ටා ලොරියක්, කාර් රථ දෙකක් සහ කැබ් රථ දෙකක් ඇතුළත්ය. උතුරු පළාතට ඇතුළු විය හැකි ඒ 9 මාර්ගයේ වව්නියාව පිවිසුම් දෙරටුව අසල යොදවා ඇති යුද හමුදා සොදිසි මුරපොළෙහි මෙම අංක ඇතුළත් පෝස්ටර් ප්‍රදර්ශනය කර ඇත.

එසේම වවුනියාව නගරයේ, හොරොව්පතාන මාර්ගයේ, තාන්ඩිකුලම් ප්‍රදේශයේ, ඉරට්ටපෙරියකුලම් යන ප්‍රදේශවල මෙම මාර්ග බාධක ස්ථාපිත කර ඇති බව හමුදාව ආරංචි මාර්ග සඳහන් කරයි.

ඊට අමතරව උතුරු පළාතට ඇතුළත් වන සියලු වාහන පරික්ෂා කර තොරතුරු සටහන් කර ගැනීමටද වන්නි ආරක්ෂක සේනා මූලස්ථානයේ යුද හමුදා භට පිරිස් විසින් පියවර ගෙන ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *