මේ අවස්ථාවේ අවශ්‍ය වන්නේ දේශපාලනීකරණය නෙමෙයි – ඇමති රවී

(කොළඹ, ලංකාපුවත්) – මේ අවස්ථාවේ අවශ්‍ය වන්නේ දේශපාලනීකරණය නොව රටේ ආරක්ෂාව ස්ථාවර කර ගැනීම බව විදුලිබල,බලශක්ති සහ ව්‍යාපාර සංවර්ධන අමාත්‍ය රවී කරුණානායක මහතා අවධාරණය කරයි.

” වසර ගණනාවක් පැවති විශාල යුද්ධයක් අවසන් කිරීමට තරම් දක්ෂ වූ සෙන්පතියෙක් වන සරත් ෆොන්සේකා මහතාගේ ඒ දක්ෂතාවය නැවතත් අපේ රටේ ආරක්ෂාව සම්බන්ධයෙන් උපයෝගී කරගන්න කියලා අපි එක්සත් ජාතික පක්ෂය මගින් ජනාධිපතිතුමාගෙන් ඉල්ලීමක් කරලා තිබෙනවා. තවමත් ඒ සම්බන්ධයෙන් අපට ප්‍රතිචාරයක් ලැබිලා නැහැ. මේ රටේ සෑම තැනකම සාමය තිබීම අත්‍යාවශ්‍යයි. කිසිම කෙනෙක් බියෙන් ජීවත් වියයුතු නැහැ. රටේ සෑම දෙනාටම මේ රටේ සෑම බිම් අගලකම අයිතියක් තිබෙනවානම්, ඒ සදහා ආරක්ෂාව සැපයීමත් රජයක් වශයෙන් අප සතු කාර්යභාරයක් වෙනවා. අපි සෑමදෙනාම මේ රට රැකගැනීමේ වගකීම බාරගත යුතුයි. රටේ ජාතික ආරක්ෂාව රැකගත යුතුයි. මේ අවස්ථාවේ අවශ්‍ය වන්නේ දේශපාලනීකරණය නෙමෙයි. රටේ ආරක්ෂාව, ස්ථාවර කර ගැනීමයි අවශ්‍ය වන්නේ. ආරක්ෂාව සම්බන්ධයෙන් අපි රටේ ජනතාව තුළ විශ්වාසයත් ගොඩනැගිය යුතුයි. මේ රටේ ප්‍රධාන භාෂාවන් දෙකයි තිබෙන්නේ. ඒ සිංහල සහ දෙමළ. අපි ඉංග්‍රීසි භාෂාව සම්බන්ධීකරණ භාෂාවක් හැටියට පාවිච්චි කරනවා. ඒ ඇරෙන්න මේ රට තුළ නොයෙක් ස්ථාන වල වෙනත් භාෂාවනුත් තිබෙනවා කියලා දැනගන්න ලැබෙනවා. ඒ තත්ත්වය විහිළුවක්. අන්න ඒ විහිළුව අපි නැවැත්විය යුතුයි”යැයි ඇමතිවරයා කියා සිටියේය.

අමාත්‍යවරයා එම අදහස් පළකළේ, මාස කිහිපයකට පෙර ලංකා විදුලිබල මණ්ඩලය විසින් ආනයනය කළ ජෙනරේටර් තොගයක්, විවිධ ස්ථානයන්හි ක්‍රියාවිරහිත තත්ත්වයෙන් තිබෙන බවට පසුගිය වකවානුව තුළ පැතිරතිබූ කරුණ සම්බන්ධයෙන් කරුණු දැනගැනීම සදහා පසුගියදා ලංකා විදුලිබල මණ්ඩලයට අයත් කොළොන්නාව පද්ධති පාලන ඒකකය සහ ග්‍රිඩ් උපපොල පැවිති නිරීක්ෂණ චාරිකාවකට සහභාගි වීමෙන් අනතුරුවය.

මෙහිදී අදහස් දැක්වූ විෂයභාර අමාත්‍ය කරුණානායක මහතා,

ලංකා විදුලිබල මණ්ඩලය විසින් පසුගිය දිනවල ආනයනය කර තිබෙන ජෙනරේටර් වැඩ කරන්නේ නැහැ කියලා පැමිණිල්ලක් තිබුණා. මේවා ගෙනල්ලා දැන් මාස 03 ක් වෙනවා. දැනට කොළාන්නාවේ තිබෙන ජෙනරේටර් 20 න් ජෙනරේටර් 02 ක් වැඩ නොකරන තත්ත්වයකට පත්වෙලා. ඒ ගැන අපි සොයා බැලිය යුතුයි. මෙම ජෙනරේටර් ගෙනැවිත් තිබෙන්නේ පද්ධතියට යම් අවස්ථාවක විදුලිය අඩුවීමක් සිදු වුනොත් පාවච්චි කරන්නයි. එහෙම නැතිව සථිරසාර ජනනය කිරීමක් සදහා නොවෙයි. මේ ආකාරයෙන් ආනයනය කළ ජෙනරේටර් 50 න් 10 ක් තුල්හිරියේ, තවත් 20 ක් කළුතර, මතුගම යන ස්ථාන වල තිබෙනවා. ඒවත් වැඩ කරන ආකාරය අපි සොයා බලනවා.

විශාල වටිනාකමකින් යුත් මෙවැනි ජෙනරේටර් මිලදී ගැනීමකදි, ඒ පිළිබදව හොදින් සොයා බලා තත්ත්ව සහතික පරීක්ෂා කිරීමෙන් පසුව තමයි මිලදී ගතයුත්තේ. සාමාන්‍යයෙන් ලංවිම විසින් යම් මිලදී ගැනීමක් සිදු කිරීමේදී විශාල කාර්යයන් ජාලයක් යටතේ තමයි මේ මිලදී ගැනීම කළ යුත්තේ. මේ පිළිබදව නොයෙක් දෙනා විවිධ අදහස් පලකරනවා. ඒ නිසා මෙම ජෙනරේටර් මිලදී ගත් ක්‍රියා පිළිවෙත ගැනත් මා ඉදිරියේදී සොයා බලන්න ඕන.

මාධ්‍ය විසින් නැගූ ප්‍රශ්න වලට පිළිතුරු දුන් අමාත්‍යවරයා …,

රටේ ආරක්ෂක තත්ත්වය ගැන කතා කරද්දි මුලින්ම කියන්න ඹ්න සැබැ තත්ත්වයයි, කටකතායි යන තත්ත්ව දෙකක් තිබෙනවා. ඒ නිසා අපි නිරන්තරයෙන් සැබෑ තත්ත්වය අවබෝධ කරගතයුතුයි. මේ වනවිට අපේ ආරක්ෂක අංශ රටේ සමස්ත ජනතාවගේ ජීවිත ආරක්ෂාව සම්බන්ධයෙන් කැපවි කටයුතු කරනවා. ඔවුන්ගේ ඒ කැපවීම මත, ත්‍රස්ත ක්‍රියා සම්බන්ධයෙන් වගකිවයුතු පිරිස් බෙහෝමයක් හදුනාගන්න, අත්අඩංගුවට ගන්න අද වනවිට අපේ ආරක්ෂක අංශයන්ට හැකිවී තිබෙනවා. අපේ පාසල් දරුවන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙනුත් අපි ආරක්ෂක අංශයන් සමග එකමුතුව, ඔවුන්ට සහයෝගය ලබාදෙමින් කැපවීමෙන් කටයුතු කළ යුතුයි යැයි පැවසීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *