සංචාරක කර්මාන්තයේ නියැලි පිරිස්වලට අඩු පොලියට ණය

(කොළඹ, ලංකාපුවත්) –පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් බිඳවැටුණු සංචාරක කර්මාන්ත අංශයේ නියැලී සිටි පිරිස් යළි නඟාසිටුවීම සඳහා සියයට 3 . 4 ක් තරම් ඉතා අඩුපොලී අනුපාතයක් යටතේ බැංකු ණය ඇතුළු සහන පැකේජයක් ලබාදීමට බැංකු පද්ධතියට උපදෙස් ලබාදුන් බව මුදල් රාජ්‍ය ඇමැති ඉරාන් වික්‍රමරත්න මහතා පැවසීය.

ඊට අමතරව සියයට 15ක් තරම් වූ ප්‍රතිශතයකින් අය කළ වැට් බද්ද සියයට 5 දක්වා අඩු කිරීමටද රජය තීරණය කළ බව මුදල් රාජ්‍ය ඇමැතිවරයා සඳහන් කෙළේය.

මුදල් අමාත්‍යාංශයේ ඊයේ (07) පැවැති මාධ්‍ය හමුවේදී ඉරාන් වික්‍රමරත්න මහතා මේ කරුණුද අවධාරණය කෙළේය.

පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයෙන් බිඳ වැටුණු සංචාරක කර්මාන්තය යළි නඟාසිටුවීම සඳහා රජය එම කර්මාන්තයේ නියැලි පිරිස් වෙත බදු සහන හා අඩුපොලී අනුපාත යටතේ බැංකු ණය ලබාදීමට තීරණය කොට තිබේ. සියයට 3. 4 ක් තරම් අඩු පොලියට බැංකු ණය ලබාදීමට – සියයට 15 වැට් බදු ප්‍රතිශතය සියයට 05 දක්වා අඩු කිරීමට රජය තීරණය කැර ඇත. සංචාරක කර්මාන්තයේ නියැළී සිටි පිරිස් විසින් දැනට බැංකුවලින් ලබාගෙන ඇති ණය හා වාරික ආපසු ගෙවීමට වසර 2020 අප්‍රේල් 01 වැනිදා තෙක් අත්හිටුවා සහන කාලයක් ලබාදී ඇත. ඊට අමතරව රුපියල් මිලියන 1514ක මුදලක් අලුතින් බැංකු ණය ලෙස ලබාදීමට රජය වෙන් කොට ඇත. එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා ණය යෝජනා ක්‍රමයෙන් සංචාරක අංශයට ලබාගත් ණයවලටද මේ සහනය හිමිවේ.

වාර්ෂික පිරිවැටුම රුපියල් මිලියන 100ට අඩු අයට රුපියල් ලක්ෂ 20ක මුදලක්ද පිරිවැටුම රුපියල් ලක්ෂ 100 හා ලක්ෂ 250 අතර පිරිස් වෙත රුපියල් ලක්ෂ 50ක ණය මුදලක්ද ලබාදීමට රජය බැංකු පද්ධතියට උපදෙස් ලබාදී ඇත.

රුපියල් ලක්ෂ 250ත් රුපියල් ලක්ෂ 750ත් අ තර පිරිවැටුමක් ඇති කර්මාන්තයේ නිරතවන පිරිසට රුපියල් ලක්ෂ 150ක ණය මුදලක් ලබාගත හැකිය. රුපියල් ලක්ෂ 750ට වැඩි වාර්ෂික පිරිවැටුමක් ඇති පිරිස් වෙත රුපියල් ලක්ෂ 250ක මුදලක් ණය ලෙස ලබාදීමට තීරණය කොට ඇත. මේ සඳහා අය කරනු ලබනුයේ සියයට 3.4ක් වැනි ඉතාම අඩු පොලියකි. සියයට 75ක පොලී සහනාධාරයක් රජය ලබාදෙන බවද මුදල් රාජ්‍ය ඇමැති ඉරාන් වික්‍රමරත්න මහතා ප්‍රකාශ කෙළේය. මීට අමතරව ආරක්ෂිත තත්ත්වය ඉහළ නැංවීම සඳහා අවශ්‍ය උපකරණ සෞඛ්‍ය ආරක්ෂාව ඉහළ දැමීමට අවශ්‍ය උපකරණ පිටරටින් ගෙන්වීමේදී තීරු බදු රහිතව ඒවා ගෙන්වීමට ඉඩසලසා ඇත. මේවාට අයකරන බදු ඉවත් කැර ඇති අතර අයකරනුයේ ජාතිය ගොඩනැගීමේ බද්ද පමණක් බවද ඉරාන් වික්‍රමරත්න මහතා කීය. රජය, සංචාරක කර්මාන්ත අංශයේ අයගෙන් දැනට අයකරන වැට් බද්ද සියයට 15කි. මේ අනුපාතය සියයට 05 දක්වා අඩුකර ඇත. මේ බදු අයකරනුයේ වසර 2020 මාර්තු 31 දායින් පසුවය.

බදු ගෙවීමට නියමිතව සිටි පිරිස් මේ වසරේ අප්‍රේල් 01 සිට ලබන වසරේ මාර්තු 30 දා වන තෙක් බදු ගෙවිය යුතු නොවේ. ජාතික ආරක්ෂාව සහතික කිරීමට හා ආරක්ෂාව සඳහා භාවිතයට ගන්නා උපකරණ ආනයනය කිරීමේදී තීරු බදු ඉවත් කිරීම වටිනා කටයුත්තක් බවද රාජ්‍ය ඇමතිවරයා කීය. සංචාරක හා ක්‍රිස්තියානි ආගමික කටයුතු ඇමැති ජෝන් අමරතුංග මහතා රජය මෙවැනි සහන වැඩපිළිවෙළක් ක්‍රියාවට නැංවීමට පියවර ගැනීමත්, ඒ සඳහා මුදල් අමාත්‍යාංශය හා ශ්‍රී ලංකා මහ බැංකුව වහාම ක්‍රියාත්මක වීමත් පිළිබඳව ගෞරවය පුදකරන බව කීය. සංචාරක හෝටල්, නිවාඩු නිකේතන සංචාරක ගමන් සංවිධානවල මිල ගණන් පවා ඉදිරියේ දී අඩු කිරීමට පියවර ගන්නා බවද ඇමැතිවරයා කීය. ‍ මෙම අවස්ථාවට මුදල් අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය ආර්.එච්.එස්. සමරතුංග, සංචාරක සංවර්ධන අධිකාරියේ සභාපති කිෂු ගෝමස් යන මහත්වරු ඇතුළු රජයේ නිලධාරීහු එක්ව සිටියහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *