හමුදාව ආරක්‍ෂාව තහවුරු කළා – අගමැති

(කොළඹ, ලංකාපුවත්) –මේ වන විට රටේ ආරක්‍ෂක තත්ත්වය යහපත් තලයකට ගෙන එන්නට ආරක්‍ෂක අංශ සමත් වී ඇති බව අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ(7) පැවසිය.

පාස්කු ඉරිදා ප්‍රහාරයට ඍජුවම සම්බන්ධ දැනට ජීවතුන් අතර සිටින සියලූ දෙනාම පාහේ නීතියේ රැහැනට කොටු කර ගන්නට සමත් වී ඇති බවත් දැනට ඉතිරි වී තිබෙන්නේ ප්‍රහාරකයන් සමඟ සමීප සබඳතා පැවැත්වූ පුද්ගලයින් සම්බන්ධව විමර්ශනය කොට ඔවුන් අත්අඩංගුවට ගැනීමට පමණක් බව පෙන්වා දුන් අගමැති වික්‍රමසිංහ මහතා තරාතිරම නොබලා ඔවුන්ට එරෙහි ක්‍රියා මාර්ග ගැනීමට ආණ්ඩුවක් විදිහට අවශ්‍ය උපදෙස් ලබා දී තිබෙන බවද සඳහන් කෙළේය.

පාසල්වල අධ්‍යාපන කටයුතු ආරම්භ කර ඇති අතර ඊට බාධා ඇතිවන කිසිදු සිදුවීමක් වාර්තා වී නොමැති බවත් සියලුම ආගමික සිද්ධස්ථානවල සුවිශේෂි ආගමික උත්සව නොපැවැත්වුණත් දෛනිකව සිදුවන ආගමික වතාවත් සාමාන්‍ය පරිදි සිදු වෙමින් පවතින බවත් අගමැතිවරයා මෙහිදි සඳහන් කෙළේය.

මගී ප්‍රවාහන ඇතුළු සියලුම ප්‍රවාහන කටයුතු සාමාන්‍ය තත්ත්වයට පත්ව ඇති බවත් දෛනික ව්‍යාපාරික කටයුතු සහ මහජනතාවගේ දෛනික කටයුතු සාමාන්‍ය තත්ත්වයට පත්වී ඇති බවත් පෙන්වා දුන් අගමැතිවරයා දිවයින පුරා වරින්වර පැනවූ පොලිස් ඇදිරි නීතිය මේ වන විට මුළුමනින්ම ඉවත්කර යොදවා ඇති මාර්ග බාධක හා පවතින ආරක්ෂක තත්ත්වය තවදුරටත් පවත්වාගෙන යෑමට කටයුතු කර ඇති බවද සඳහන් කෙළේය. විමර්ශන මඟින් හා මහජනතාවගෙන් ලැබෙන තොරතුරු මත දිවයිනේ සියලුම පොලිස් වසම්වල අඛණ්ඩව පරීක්ෂා කිරීම සිදු කරමින් සිටීන අතර 21 වැනි දින සිදු වු ත්‍රස්ත ප්‍රහාර මාලාවට අදාළව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සහ ත්‍රස්ත විමර්ශන කොට්ඨාශය පරීක්ෂණ කටයුතු අඛණ්ඩව සිදු කරමින් සිටීන බවද පැවසිය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *