සහරාන් රහස් සියල්ල බ්ලැක්පූල් පරිගණකයේ

(කොළඹ, ලංකාපුවත්) – සිරියාව කේන්න්ද්‍ර කර ගනිමින් ක්‍රියාත්මක වන අයි.එස්. ත්‍රස්ත ජාලයේ මෙරට නියෝජිතයින්ගේත් එම ත්‍රස්ත ජාලය සමඟ සම්බන්ධකම් පවත්වන්නන්ගේත් සියලු තොරතුරු නුවරඑළියේ බ්ලැක්පූල්හි පිහිටි සහරාන්ගේ පුහුණු මධ්‍යස්ථානයෙන් හමු වූ ලැප්ටොප් පරිගණකයකින් හෙළි කර ගැනීමට පොලිසිය සමත්ව ඇත.

එකී පරිගණකයේ සටහන්ව ඇති අයි.එස්. ත්‍රස්ත ජාලය සැබෑ අයි.එස්. ජාලය බව රාජ්‍ය බුද්ධි සේවය විසින්ද තහවුරු කර තිබේ. එම පරිගණකය සොයා ගැනීමට පෙර රාජ්‍ය බුද්ධි සේවයේ ඔත්තුවකට අනුව අයි.එස්. ත්‍රස්ත ජාලයට සම්බන්ධ බව කියන තරුණයකු බිබිලෙන් අත්අඩංගුවට ගෙන ඇත. ළමුන්ගේ භාණ්ඩ අලෙවි ස්ථානයක් පවත්වාගෙන යන එම පුද්ගලයා කාතන්කුඩියේ පදිංචිකරුවෙකි. ඔහුගේ ජංගම දුරකතනය පොලිස් භාරයට ගැනීමෙන් පසු රාජ්‍ය බුද්ධි සේවය විසින් කළ පරීක්ෂාවකදී ඔහු සිරියාවේ අයි.එස්. ත්‍රස්ත ජාලය සමඟ සම්බන්ධකම් පවත්වන බව සාක්ෂි සහිතවම අනාවරණය කර ගැනීමටද හැකි වී තිබේ. නුවරඑළියෙන් සොයාගත් පරිගණකයේ ඇති අයි.එස්. ජාලයේ නම් සදහන් පුද්ගලයින් අතරද බිබිලේදී අත්අඩංගුවට ගත් සැකකරුගේ නම සටහන්ව ඇතැයි පොලිසියේ උසස් නිලධාරියෙක් සදහන් කළේය.

එම ජාලයේ නම් සඳහන් පුද්ගලයින් හඳුනා ගනිමින් අත්අඩංගුවට ගැනීමේ මෙහෙයුමක් මේ වන විටත් බුද්ධි අංශ සමඟ එක්ව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව දියත් කර තිබේ. රහසේ සිරියාවට ගොස් අයි.එස්. සංවිධානයට එක්ව එරට රැදී සිටින ප්‍රබලයෙකුගේ මව්පියන්ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් සිය භාරයට ගෙන තිබේ. එහිදී සිය පුත්‍රයා බැලීමට ඔවුන් දෙදෙනා සිරියාවට ගොස් වසර එකහාමාරක කාලයක් එහි රැදී සිට ඇතැයිද හෙළි වී ඇත. සිය පුතා එරට රැදී සිටින්නේ බිරිඳ සහ දරුවන් සමඟ බවත් සැපවත් ජීවිතයක් ගතකරන බවත් ප්‍රශ්න කිරීම් හමුවේ ඔවුන් පවසා තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *