පාස්කු ප්‍රහාරයෙන් අසරණ වූ ජනතාවට උපදේශව සේවා

(කොළඹ, ලංකාපුවත්) – පාස්කු ඉරුදින සිදු වූ ත්‍රස්තවාදී බෝම්බ ප්‍රහාරයෙන් අසරණ වූ ජනතාවට උපදේශන සේවා ලබාදීම ඇතුළු විවිධ සහය ලබා දීමට කාන්තා හා ළමා කටයුතු සහ වියළි කලාප සංවර්ධන අමාත්‍යංශය ,යුනිසෙෆ් ආයතනය හා එක්ව වැඩපිළිවෙළක් සකස් කර ඇත.

පාස්කු ඉරුදින සිදු වූ ත්‍රස්තවාදී බෝම්බ ප්‍රහාරය හා සයින්දමරුදු බෝම්බ පිපිරීම හේතු කොට ගෙන දරුවන් 169 දෙනෙකු පීඩාවට ලක් වූ බව වාර්තා වී ඇත. ඔවුන් අතරින් සමහර දරුවන් මිය ගොස් ඇති අතර සමහරුන් තුවාල ලබා ඇත; සමහර දරුවන් මව හෝ පියා සමඟ තනි වී ඇති අතර සමහරුන්ට මව්පිය දෙදෙනාම අහිමි වී ඇත.

මෙම ප්‍රහාරයෙන් අසරණ වූ ජනතාවට මනෝ-සමාජීය සහාය හා උපදේශන සේවා සැපයීම පිණිස, ළමා හිමිකම් ප්‍රවර්ධන නිලධාරීන් මගින් ලබාගත් දත්ත මත පදනම්ව කාන්තා හා ළමා කටයුතු සහ වියළි කලාප සංවර්ධන ඇමැතිනි චන්ද්‍රානි බණ්ඩාර මහත්මිය යුනිසෙෆ් ආයතනයේ මෙරට නියෝජිතයා සමඟ දීර්ඝ ලෙස සාකච්ඡා කරන ලදී. ඒ අනුව,අසරණ වූ ළමුන් සඳහා යුනිසෙෆ් ආයතනය හා එක්ව,අධ්‍යාපනික ආධාර ලබා දීමට සහ ආබාධිත වූ දරුවන්ට සහ කාන්තාවන්ට ඔවුන්ගේ අවශ්‍යතා සපුරාලීමට අමාත්‍යංශය සැලසුම් සකස් කරනු ඇත.

කාන්තා හා ළමා කටයුතු සහ වියළි කලාප සංවර්ධන අමාත්‍යංශයේ සහාය අසරණ වූ දරුවන් වෙත ලබා දෙමින්, ඔවුන් වෙනුවෙන් විකල්ප රැකවරණ ක්‍රමයක් ස්ථාපනය කිරීමට ද අමාත්‍යංශය කටයුතු කරනු ලැබේ. බලපෑමට ලක් වූ පවුල් වෙත සහාය වීමක් වශයෙන්, ඔවුන්ගේ ආදායම් වර්ධනය කිරීම පිණිස ස්වයං රැකියා ආරම්භ කිරීමට මූල්‍ය සහාය ලබා දීමට ද අපේක්ෂා කරයි. මෙම ආධාර උපකාර අඛණ්ඩව ලබාදීම හා අසරණ ජනතාවගේ සුබසාධනය සහතික කිරීම වස්, සහන සේවාවල ප්‍රගතිය හා අනාථ වූ පවුල්වල දියුණුව අධීක්ෂණය කරමින් එම අසරණ පවුල්වල දත්ත පද්ධතියක් පවත්වා ගෙන යාමට කාන්තා හා ළමා කටයුතු සහ වියළි කලාප සංවර්ධන අමාත්‍යංශය තීරණය කර ඇතැයි ඇමැතිනී චන්ද්‍රානි බණ්ඩාර මහත්මිය කියයි.

එමෙන්ම මෙම ප්‍රහාරයෙන් අනතුරට පත්ව කොළඹ මහ රෝහලේ හා මීගමුව රෝහලේ ප්‍රතිකාර ලබන රෝගීන්ගේ හදිසි වෛද්‍ය අවශ්‍ය සපුරාලීම පිණිස වහාම අවශ්‍ය වන වෛද්‍ය උපකරණ සපයා ගැනීම සඳහා කාන්තා හා ළමා කටයුතු සහ වියළි කලාප සංවර්ධන අමාත්‍යංශයේ මැදිහත් වීම මත යුනිසෙෆ් ආයතනය විසින් මුදල් වෙන් කරන ලදී. මෙහිදී, මඩකළපු රෝහල, කොළඹ මහ රෝහල, රිජ්වේ ආර්යා ළමා රෝහල සහ මීගමු රෝහල යන රෝහල් 04 සඳහා ඇ.ඩොලර් 85,000ක් ලබා දී ඇත. වෙනත් අවශ්‍යතා සඳහා යුනිසෙෆ් ආයතනය විසින් ඇ.ඩොලර් 5000ක් වෙන් කර දී ඇත.

ප්‍රහාරයට ලක් වූ ප්‍රදේශවල යෞවන හා තරුණ ජනතාව ඉලක්ක කර ගනිමින් යුනිසෙෆ් ආයතනය විසින් සිය පාසල් ආශ්‍රිත සමාජ ඒකාබද්ධතා හා සමගි සන්ධාන ඇති කිරීමේ කටයුතු ව්‍යාප්ත කිරීමට සැලසුම් කර ඇත. මෙහිදීප්‍රමුඛ ක්‍රියාකාරකම් හා දීර්ඝ කාලීන සාමය ඇති කිරීම පිණිස සහජීවනය, ප්‍රජා ප්‍රත්‍යාස්ථිතිය, ප්‍රජා ඉවසීම, සහයෝගය හා අවබෝධය ඇති කිරීම පිණිස පණිවුඩ යොදා ගැනීමට සිදු කෙරේ. අධ්‍යාපන අමාත්‍යංශයේ සහාය ඇතිව දරුවන්, ගුරුවරුන් හා මව්පියන් 40,000ක් වෙත සහන සැලසීමට යුනිසෙෆ් ආයතනය සැලසුම් කරනු ඇත.

කාන්තා හා ළමා කටයුතු සහ වියළි කලාප සංවර්ධන අමාත්‍යංශය ,පරිවාස හා ළමාරක්ෂක සේවා දෙපාර්තමේන්තුව, ජාතික ළමා ආරක්ෂක අධිකාරිය ,යුනිසෙෆ් ආයතන හා එක්ව විසින්මෙම වැඩපිළීවෙළ ශක්තිමත්ව සිදු කරනු ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *