කිසිදු ප්‍රවෘත්ති වාරණයක් නැහැ – රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව

(කොළඹ, ලංකාපුවත්) –කිසිඳු ආකාරයක මාධ්‍ය වාරණයක් පනවා නොමැති බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසයි.

ප්‍රවෘත්ති අධ්‍යක්‍ෂ ජනරාල් නාලක කලුවැව නිවේදනයක් මගින් කියා සිටින්නේ උද්ගතවූ තත්ත්වය සමග රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව තහවුරු කළ තොරතුරු ජනතාව වෙත ලබා දීම සඳහා සියලු ජනමාධ්‍ය ආයතන සම්බන්ධීකරණයෙන් පොලිස් සහ ත්‍රිවිධ හමුදා මාධ්‍ය ප්‍රකාශකවරුන් ඇතුළත් වූ විධිමත් යාන්ත්‍රනයක් ස්ථාපිත කර ඇති බවයි.

මෙම ක්‍රමවේදය සම්බන්ධයෙන් මාධ්‍ය ආයතන ප්‍රධානීන්ව රැස්වීමක් පවත්වා දැනුවත් කළ බවත් රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්‍ෂ ජනරාල්වරයා පවසයි. එහිදී රටේ දෛනික ජන ජීවිතය යථාවත් කිරීමට මාධ්‍යයේ සමාජ වගකීම සහ කාර්යය භාර්යය පිළිබඳ සාකච්ඡා කෙරිණ. වැටලීම්වලින් සොයා ගන්නා කඩු කිණිසි ආදියෙහි තහවුරු නොකරන ලද දර්ශන විකාශය සහ පළ කිරීම පිළිබඳ එහිදී අදහස් හුවමාරු වූ බව එම නිවේදනයේ සඳහන්වේ.

අනවශ්‍ය ලෙස මහජන කැළඹීම් සහ ජනතාව භීතියට පත්වීම වැළැක්වීම සඳහා පොලීසිය සහ ත්‍රිවිධ හමුදා මාධ්‍ය ප්‍රකාශකවරුන් නිකුත් කරනු ලබන හෝ තහවුරු කළ දර්ශන පමණක් විකාශය කරන ලෙස තම දෙපාර්තමේන්තුව ඉල්ලා සිටි බවත් එම නිවේදනයේ දැක්වේ. මෙම කරුණු සැලකිල්ලට ගනිමින් ජාතික වගකීමක් සේ සලකා මාධ්‍ය ආයතන කටයුතු කරනු ඇතැයි තමන් අපේක්ෂා කරන බව රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්‍ෂ ජෙනරාල්වරයා සිය නිවේදනයෙන් කියා සිටි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *