ගාල්ලේ සෑම විහාරස්ථානයකට ම ආලෝක පූජාව සඳහා රුපියල් 10,000ක්

(කොළඹ, ලංකාපුවත්) –ජාතික වෙසක් දින උත්සවය වෙනුවෙන් ගාල්ල දිස්ත්‍රික්කයේ ප්‍රදර්ශනය කිරීමට සූදානම් කර තිබූ තොරණ කිහිපයක් සඳහා ව්‍යාපාරික ප්‍රජාව වෙතින් ලැබුණු මුදල් ගාල්ල දිස්ත්‍රික්කයේ සියලුම විහාරස්ථාන අතර බෙදා දීම අභ්‍යන්තර හා ස්වදේශ කටයුතු සහ පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය වජිර අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් සිදුකෙරිණි.

ගාල්ල දිස්ත්‍රික්කයේ ඇති බෞද්ධ විහාරස්ථාන 884ක් සඳහා මෙලෙස රුපියල් 10,000 බැගින් වූ මුදල්ක බෙදා දීම සිදුකරන ලදී. මෙවර ජාතික වෙසක් උත්සවය ගාල්ල දිස්ත්‍රික්කය මූළික කරගනිමින් හික්කඩුව තොටගමුව රත්පත් රජමහා විහාරයේ දී පැවැත්වෙයි. එයට සමගාමීව දිස්ත්‍රික්කයේ ස්ථාන කිහිපයක ව්‍යාපාරික ප්‍රජාව විසින් ඉදිකිරීමට ටනියමිතව තිබූ තොරණ කිහිපයක් රටේ උද්ගතවී ඇති තත්ත්වය හේතුවෙන් අවලංගු කෙරිණි. එම තොරණ ඉදිකිරීමට ව්‍යාපාරිකයන් විසින් පරිත්‍යාග කරන ලද මුදල් වජිර අබේවර්ධන පදනමට ලබාදීමෙන් අනතුරුව එම පදනම මගින් මෙලෙස විහාරස්ථාන වෙත බෙදාදීම සිදුකරන ලදී.

මෙහි දී අදහස් දැක්වූ අභ්‍යන්තර හා ස්වදේශ කටයුතු සහ පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය වජිර අබේවර්ධන මහතා මෙසේ කීවේය.

”ජාතික වෙසක් දින උත්සවය සැළසුම් කළ ආකාරයෙන් ම පවත්වනවා. නමුත් ජනාව විශාල වශයෙන් එකතුවන තොරණ පැවැත්වීම ආරක්ෂක හේතූන් මත නවත්වා තිබෙනවා. මේ තොරණ කිහිපයක් සඳහා ව්‍යාපාරික ප්‍රජාව විසින් වෙන් කළ මුදල් මේ ආකාරයෙන් අපි විහාරස්ථාන සඳහා බෙදාදීමට තීරණය කළා. අපි මේ මුදල් ලබා දෙන්නේ ඒ ඒ විහාරස්ථානයන්හි වෙසක් දිනවල පැවැත්වෙන ආලෝක පූජාවන් සඳහා ප්‍රයෝජනයට ගැනීමට. වෙසක් දිනයේ දී බෞද්ධ ධර්මය අනුව කරුණාව, මෛත්‍රීය පතුරුවමින් ප්‍රතිපත්ති පූජාවන්ට මුල්තැන දී කටයුතු කරමු කියා මා ඉල්ලා සිටිනවා.”

Leave a Reply

Your email address will not be published. Required fields are marked *