බුර්කිනෝ ෆාසෝ කතෝලික දේවස්ථානයකට ප්‍රහාරයක්

(කොළඹ, ලංකාපුවත්) –දේව මෙහෙයක් පැවැත්වෙන අතරවාරයේ දේවස්ථානයකට ගිනි තැබූ තුවක්කුකරුවන් දේවගැතිවරයකු ඇතුළු හය දෙනෙකු මරා දැමූ බව බුර්කිනා ෆාසෝ රාජ්‍යයේ බලධාරීන් පැවසූ බව බීබීසී පුවත් සේවය වාර්තා කර ඇත.

ප්‍රහාරය එල්ල වූයේ උතුරු ප්‍රදේශයේ පිහිටි ඩබ්ලෝ (Dablo) නගරයේ දී බව ප්‍රදේශයේ නිලධාරියෙක් සහ ආරක්ෂක ආරංචි මාර්ග සඳහන් කළේය.

“සන්නද්ධ පුද්ගලයන් කතෝලික දේවස්ථානයට කඩා වැදුනා … බැතිමතුන් පලා යාමට උත්සාහ කරන කොට ඔවුන් වෙඩි තියන්න පටන් ගත්තා,” ඩබ්ලෝ හි නගරාධිපති Ousmane Zongo ඒඑෆ්පී පුවත් සේවයට පැවසීය.

“නගරයේ මිනිස්සු තැති ගැනුණු ස්වභාවයක් පවතිනවා. ජනතාව ගෙවල්වලට කොටු වෙලා, කිසිම දෙයක් සිද්ද වෙන්නේ නෑ. කඩ සාප්පු සේරම වහල දාල. දැන් මේ නගරයම පාලු සොහොන් පිටියක් වගේ,” ඔහු පැවසීය.

2016 සිට බුර්කිනා ෆාසෝ හි ජිහාඩ්වාදීන්ගේ ප්‍රහාරවලට ලක් වූ අතර, ගතව ගිය සති පහ ඇතුළත එහි කතෝලික දේවස්ථානවලට එල්ල වූ තුන්වෙනි ප්‍රහාරය එයයි.

ප්‍රහාරකයන් අසල්වැසි කඩ සාප්පුවලට සහ සෞඛ්‍ය මධ්‍යස්ථානයකට ද ගිනි තැබූ බව ආණ්ඩුවේ නිලධාරියෙක් බීබීසී යට පැවසීය.

අල් කයිඩා සංවිධානයට, අයිඑස් ඉස්ලාමීය රාජ්‍ය සංවිධානයට සහ අන්සරුල් ඉස්ලාම් (Ansarul Islam) සන්නද්ධ සංවිධානයට සම්බන්ධ ප්‍රහාරකයෝ කලාපය තුළ ක්‍රියාත්මකව සිටිති.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *